සරත් හා විපක්ෂය අවංක නම් විමල්ගේ විවාද යෝජනාව භාර ගත යුතු ය.

(2009 දෙසැම්බර් 29 -W3Lanka) තම බෑණනුවන්ට අයත් යෑයි කියන අවි ආයුධ සමාගම පසුගිය සමයේ අවි වෙළඳාමෙහි යෙදුණු ආකාරය පිළිබඳව විවාදයකට පැමිණෙන්නැයි විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (28 වැනිදා) එම පක්‍ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී විවෘත අභියෝගයක්‌ කළේය.


ෆොන්සේකාට කරුණු දැක්‌වීමට නොහැකි නම් ඒ මහතාගේ නියෝජිතයන් කෙනකු හෝ දෙදෙනකු ද තම පාර්ශ්වයෙන් ද ඒ සමාන නියෝජිතයන්ගෙන් ද සමන්විතව පැවැත්විය යුතු අදාළ විවාදය මෙරට සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍යය ඉදිරියේ සිදුවිය යුතු යෑයි ද වීරවංශ කියා සිටියේය. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා නිකම් ම නිකම් මන්ත්‍රීවරයකු වන විමල් වීරවංශ සමග විවාදයකට යාම තරම් නොවේ යයි සිතන්නේ නම් විකල්පයක් ද විමල් යෝජනා කරයි.


මෙය ඉතා කාලීන යෝජනාවක් බව අපේ ද අදහසයි. මේ ඔස්සේ පසුගිය යුද සමයේ සිදු වූ අවි ජාවාරම් මෙන් ම සෙසු බොහෝ දූෂණ පිළිබඳව ද දේශපාලනික සංවාදයක් ආරම්භ කළ හැකි ය. කට කතා ලෙස පමණක් පැතිර යමින් ඇති තොරතුරු බොහොමයක් දැන ගැනීමේ අවස්ථාව ද ජනතාවට ලැබෙනු ඇත. 

විශේෂයෙන් ම, 2005න් පසු අවි මිළ දී ගැනීම සඳහා පිහිටුවනු ලැබූ ලංකා ලොජිස්ටික්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් නම් ගුප්ත ආයතනයේ කටයුතු පිළිබඳව ද මෙහිදී සංවාද කළ යුතු ය. 


බෑණාගේ ව්‍යාපාර කටයුතු ෆොන්සේකාට 100%ක් ම අදාළ නො වන මුත්, බෑණා ලාභ ලැබීම පිණිස ෆොන්සේකාගේ නිල බලය පාවිච්චි කළා ද යන්න දැන ගැනීම ජනතාවට වැදගත් වේ. 

ෆෙන්සේකාගේ බෑණා පමණක් නොව මහින්ද රාජපක්ෂගේ සහෝදරයින්, පුතුන්, ඥාති පුතුන්, ඥාති සහෝදරයන්, මස්සිනාලා, බාප්පලා, පුංචි අම්මලා, නැන්දලා, මාමලා පමණක් නොව ඈත නෑයින් දක්වා සියලු දෙනා මෙන් ම වෙනත් මැති ඇමතිවරුන්ගේ ඥාතීන් ද ‍දේශපාලන බලය පාවිච්චි කරමින් කළ ව්‍යාපාර පිළිබඳව දැනගැනීමට හිමිකමක් ජනතාවට තිබේ. 


එසේ ම, මේ මහා දූෂණ හමුවේ සුළු පරිමාණ එකක් ලෙස පෙනුනත්, වැටුප් නො ලබා මන්ත්‍රීකමක් කළ විමල් වීරවංශ ලක්ෂ දෙසීයක මන්දිරයක් ඉදි කරන්නට යන හැටි ද දැන ගැනීමට මෙවැනි විවාද හරහා පුළුවන. 


සරත් ෆොන්සේකා හා විපක්ෂය දූෂණයෙන් තොර අනාගතයක් පිළිබඳ කරන ප්‍රකාශ අවංක ඒවා නම්, විමල් වීරවංශ උදා කර දුන් මෙම අවස්ථාව ඔවුන් පැනලා භාර ගත යුතු ව තිබේ. 


ඒ ඔස්සේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර විවාදයකට ද මඟ පාදා ගත හැකි ය.





Comments

  1. ගොයියට හිතෙනවද දන්නේ නැහැ කියපු මෝඩකම කියලා

    ReplyDelete
  2. මීට කලින් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිතුමාට විවාදයකට ආරාධනා කළා.මෙච්චර දේශපාලන පරිණතයැයි කියා ගන්නා මහින්ද මහත්තයා දේශපාලනයට ආධුනික වූ ෆොන්සේකා මහත්තයා එක්ක විවාදයට ආවේ නෑ.
    විමල් මහත්තයාත් මේ ළඟදී බිමල් මහත්තයාට බයේ "සිරස" වැඩසටහනකදී "බිමල් එනවනාම් මට බෑ" කිව්ව කියලත් ආරංචියි.
    කොහොම වුනත් මෙවැනි අභියෝග භාර ගන්න එක අලුත් දේශපාලන සංස්කෘතියකටත් මඟ පාදයි කියලයි මට හිතෙන්නේ.
    අනික අපේ මුදල්වලට වෙන දේ ගැන අපි කවුරු කවුරුත් දැන ගන්න ඕනෙ.

    ReplyDelete
  3. මෙන්න මේක බලන්න....
    http://www.lankaenews.com/Sinhala/news.php?id=11709

    ReplyDelete
  4. @ems ඒක වැරදි කතාවක්.. ලාල් කාන්ත තමයි ඒ වැඩසටහනට එන්න හිටියේ ඔහු මැග හැර සිරසට නොදන්වා බිමල් රත්නායක පැමිණීම පුදුම සහගතයි.. ලාල් කාන්ත තමයි බය වුනේ.. ඔයා කියන විදියට.. :P

    ReplyDelete
  5. ලංකාවේ මීලග ජනාධිපතිවරයා කවුද???
    පහත වෙබ් අඩවියට පිවිස ඔබේ මතය දක්වන්න.

    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා