අනතුරු නො තකා යුද අපරාධ චෝදනා ඡන්දයේදී ආශිර්වාදයක් කර ගන්න රජයෙන් සැලසුම්


(2009 දෙසැම්බර් 22 - W3Lanka) ක්සත් ජාතීන් විසින් රජයට එරෙහිව නඟන යුද අපරාධ චෝදනා ජනාධිපතිවරණයේදී සානුකම්පිත ඡන්ද ලබා ගැනීම සඳහා උපයෝගී කර ගැනීම සඳහා ආණ්ඩුව සැලසුම් කර තිබේ. මෙහිදී විශේෂයෙන් ම එක්සත් ජනපද පුරවැසියකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනතුරුදායක තත්වයකට මුහුණ දී සිටිය ද එය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේදී වාසිදායක වී තිබේ. 

මෙම කාර්යය මේ වන විට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට පවරා ඇත. මුලදී ඔහු මතු ආරක්ෂාව පිළිබඳ ගැටළු මතු කර ඇතත්, ඒ පිළිබඳ දැන් කතා නො කර, ආණ්ඩුවෙන් ලැබුණු දේට ප්‍රති උපකාර වශයෙන් විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට දැඩි ලෙස පහර දෙන ලෙස ද, හමුදාව ඔහුට එරෙහි වන තත්වයක් හා ජනතාව වීදි බැස ඇතැමෙක් සිරුරට ගිනි තබාගෙන මැරෙන තත්වයක් නිර්මානය කරන ලෙස ද ඔහුට උපදෙස් දී තිබෙන බව වාර්තා වේ. ඒ සඳහා වේගවත් කතා හා ප්‍රකාශ කිරීම පිණිස ඔහුට ර‍ජයේ මාධ්‍යවල ඉඩකඩ සම්පූර්ණයෙන් ම වෙන් කර දී තිබේ.



කෙසේ වෙතත්, වගකිවයුතු දේශපාලනයන් මේ ප්‍රශ්නයේදී විමල් වීරවංශ මෙන් කටයුතු නො කර රාජ්‍ය තාන්ත්‍රික ලෙස ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කළ යුතු බව රජයේ ඉහළ ම නායකයන් හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයන් සාකච්ඡා කර තිබේ. දැඩි සිංහල ජාතිකවාදීන් වුව ද, හෙළ උරුම නායක චම්පික රණවකට පවා උපදෙස් දී ඇත්තේ කට පරිස්සම් කර ගන්නා ලෙස බව දැනගන්නට තිබේ.



යටත්වන එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ට වෙඩි තබන ලෙස ශ්‍රී ලංකා හමුදාවේ 58 වැනි සේනාංකාධිපතිවරයාට ආරක්ෂක ලේකම් වරයා විසින් උපදෙස් දෙන ලදැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් 2009 දෙසැම්බර් 13 දා ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී නගන ලද චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්ෂණ ආරම්භ කර චෝදනාව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිගෙන් ඉල්ලා ඇත.


මේ ඉල්ලීම ඉදිරිපත් කොට ඇත්තේ නීති ප්‍රකාර නොවන අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක පිලිප්ස් ඇල්ස්ටන් විසිනි. 2009 මැයි මස 17 දා රාත්‍රියේ සිට 18 දා දක්වා කාලයේදී සිදුවූ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන නායක බාලසිංහම් නඩේසන්, සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් හා සන්නද්ධ නායකයකු වූ රමේශ් යන සාමාජිකයන් තිදෙනාගේ හා ඔවුන්ගේ පවුල්වල අයගේ මරණ වලට අදාළ හේතු සාධක පිළිබඳව එ. ජා. සංවිධානය විශේෂයෙන් විමසීමක් කැර තිබේ.


තමාට ලැබුණු තොරතුරු පදනම්ව ඇත්තේ ඉහත සඳහන් සරත් ෆොන්සේකාගේ සම්මුඛ සාකච්ඡාව මත බව ද ඇල්ස්ටන් ඔහුගේ ලිපියෙන් අවධාරණය කර ඇත. ඒ සමගම නඩේසන් පුලිදේවන් හා රමේශ් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ මරණ සම්බන්ධයෙන් නගන සමහර චෝදනා ශ්‍රී ලංකාවේ හමුදාවේ 58 වැනි සේනාංකය සමග ගමන් ගත් මාධ්‍යවේදීන්ගේ විස්තර වලින් තහවුරු වන බවද ඇල්ස්ටන් ප්‍රකාශ කරයි.


මේ අනුව අන්තර්ජාතික මානුෂික නීතිය හා මානව හිමිකම් නීතිය යටතේ මෙන්ම විශේෂයෙන්ම 1949 ජිනීවා සම්මුතියේ 5 වගන්තියෙන් දැක්වෙන සියලුම සන්නද්ධ ගැටුම් වලට අදාළ මූලික නීති රීති වලට අනුකූලව නැගී අඇති චෝදනාවල නිරවද්‍යතාව පිළිබඳව කරුණු දක්වන ලෙස මෙන්ම එම චෝදනා සාවද්‍ය නම් එබව තහවුරු කරන තොරතුරු හා ලේඛන ගත සාධක ඉදිරිපත් කරන ලෙස ඔහු වැඩි දුරටත් ඉල්ලා ඇත. ඒ සමගම ඉහත කී එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ පවුල්වල අය පිළිබඳවද තොරතුරු සපයන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා