සුසිලා දොඩංගොඩ සමු ගනියි

(2009 දෙසැම්බර් 16 - W3Lanka) ක්‍රියාකාරී ගුරු නායිකාවක හා අවිද්‍යාවට එරෙහිව භෞතිකවාදය වෙනුවෙන් අභීතව සටන් කළ හේතුවාදී ක්‍රියාකාරිනියක වූ සුසිලා දොඩංගොඩ සහෝදරිය අභාවප්‍රාප්ත වූ බව ද, ඇගේ අවසන් කටයුතු අද සවස පානදුරදී සිදු වන බව ද ලංකා ගුරු සංගමය පවසයි.


සුසිලා දොඩංගොඩ ලංකා ගුරු සංගමයේ නිර්මාතෘ නැසී ගිය එච්. එන්. ප්‍රනාන්දුගේ බිරිඳයි. වාමාංශිකයකු වූ එච්. එන්. ප්‍රනාන්දු 1980 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණට සමීපව කටයුතු කළේ ය. ඔහු ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මස්සිනා ය.


ලංකා ගුරු සංගමය විසින් සුසිලා දොඩංගොඩ සහෝදරියට ආචාරය පුද කරමින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


60 දශකයේ ගුරු වෘත්තියට පිවිසුණු සුසිලා දොඩන්ගොඩ සහෝදරිය සම්ප‍්‍රදායික ගුරුවරියක් නොවී සමාජ පරිවර්තන ක‍්‍රියාවලියට පිවිසුණු ගුරු නායිකාවකි. 1966, 67 වසරවල මහරගම ගුරු විද්‍යාලයේ පුහුණුව ලැබූ අවධියේදී ලංකා ගුරු සංගමයේ හිටපු ලේකම් එච්.එන්. ප‍්‍රනාන්දු සහෝදරයා සහ සංගමයේ ක‍්‍රියාකාරිකයන් සමග එක්ව ගුරු අරගලවලදී ඉදිරියෙන් ම කටයුතු කළා ය.


අතීතයේදී දේශපාලන කටයුතුවලට වඩා සාහිත්‍ය කටයුතුවලට වැඩි නැඹුරුවක් දැක්වුව ද ගුරු විදුහලේ සටන් කාමීන්ගේ ඒකාබද්ධතාව තුළ දේශපාලන ක‍්‍රියාකාරිත්වයට ද යොමු වූවා ය. ගුරු පුහුණුවෙන් පසු රත්නපුර දිස්ත‍්‍රික්කයේ සේවය කළ අවධියේ දේශපාලනිකව මාක්ස්-ලෙනින්-මා ඕවාදීන් සමග කටයුතු කළ සුසිලා ලංකා කොමියුනිස්ට් පක්ෂ (චීන පිල) නායක එන්. ෂන්මුගදාසන් සහෝදරයාගේ නායකත්වයෙන් දේශපාලනයේ නියැලූණා ය.


ඇය විසින් රචනා කරන ලද ‘දෙවියෝ සිය දිවි නහගනියි‘ කෘතිය දැඩි ආන්දෝලනයට තුඩු දුන් එකක් විය. පුනරුත්පත්තිය, විඥානවාදය ආදී මාතෘකා ඔස්සේ විවිධ කෘති හා ලිපි රචනා කළ ඇය සමාජ පෙර ගමන්කාරියක් වූවා ය.


1974 ගුරුවරුන්ගේ ‍ඓතිහාසික සම වැටුප් අරගලයේ කටයුතු කිරීමේදී විවිධ තර්ජනයන්ට ද මුහුණ දුන් ඇය 1980 සමස්ත මහා වැඩ වර්ජනයට එක් වීම නිසා ඇයගේ මෙන් ම එච්.එන්. සහෝදරයාගේ ද රැකියා අහිමි කෙරිණි. දැඩි දුෂ්කරතා මධ්‍යයේ පවා ගුරු සංගම් කටයුතු මෙන් ම දේශපාලන කටයුතු ද ඔවුන්ගේ රැුකියා අහිමි කළ පාලකයන්ට නතර කළ නො හැකි විය‍


1980 දශකයේ අගභාගයේදී රාජ්‍ය ත‍්‍රස්තවාදයට මෙන් ම ජවිපෙ තර්ජනයට ද මුහුණදෙමින් දිවි රැුක ගැනීමට ඇය සමත් වූවා ය. රාජ්‍ය මර්දනය උත්සන්න වෙද්දී එච්.එන්. සහෝදරයා රැුකවරණය පතා යාපනයට ගිය පසු ඇය සියලූ ගැටළුවලට අධිෂ්ඨානශීලී ලෙස මුහුණ දුන්නා ය.


එච්.එන්. සහෝදරයාගේ රෝගී තත්වය සහ මරණය හමුවේ කම්පිත මනසකින් යුතුව සිටියදී හා තමන් ද රෝගී වෙද්දීත් සුසිලා සහෝදරිය හේතුවාදීන්ගේ සංගමයේ හා ලංකා ගුරු සංගමයේ ක‍්‍රියාකාරීන් දිරිමත් කරමින් කටයුතු කළා ය‍. දෘෂ්ඨිවාදය හා භාවිතාව අතර විභේදනයක් නො දුටු ඇය එච්.එන්. සහෝදරයාගේ අවසන් කටයුතුවලදී පවා සිය භෞතිකවාදී ස්ථාවරයන් නිර්භයව රැුක ගත්තා ය.


ජීවිතය පුරා සත්‍යය, විද්‍යාව හා මනුෂ්‍යත්වය වෙනුවෙන් අභීතව සටන් කළ සුසිලා දොඩන්ගොඩ සහෝදරියට ලංකා ගුරු සංගමය සිය ආචාරය පුදන්නේ ඇය දුටු සිහිනය සැබෑවක් කිරීම වෙනුවෙන් සටන ඉදිරියට ගෙන යන බව ශපථ කරමිනි‍‍.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා