හෙල්පිං හම්බන්තොට සිට බේබි 81 දක්වා පශ්චාත් සුනාමිය


(2009 දෙසැම්බර් 26 -W3Lanka) 2004 දෙසැම්බර් 26දා ශ්‍රී ලාංකිකයන් දසදහස් ගණනකට මරු කැඳවමින් සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර පහක් පිරේ. ඒ සමග ම පශ්ඩාත් සුනාමි ව්‍යසනයට ද වසර පහක් පිරේ. එය තව ම අවසන් නැත.


සුනාමි ව්‍යසනය පිළිබඳ කම්පා වී ප්‍රධාන වශයෙන් ම බටහිර රටවල ත්‍යාගශීලීන් විසින් එවන ලද ඩොලර් කෝටි ගණනක් ලංකාවේ සංසරණය වූ මුත් කොළඹ දිස්ත්‍රික්කයේ පවා දහස් ගණනක් උන්හිටි තැන් අහිමි වූවෝ තවමත් අනාථ කඳවුරුවල වෙසෙති. සුනාමියෙන් බැට කා යන්තම් දෙපයින් නැඟී සිටින්නට උත්සාහ කරද්දී ඇවිළුණ යුද ගින්නෙන් යළි බැට කා බොහෝ දේ අහිමි වූ තවත් දසදහස් සංඛ්‍යාත පිරිසක් තවමත් .උතුරේ අනාථ කඳවුරුවල ය. දිවයින පුරා ම සුනාමියෙන් පීඩාවට පත් බොහෝ අයගේ නිවාස තවමත් බාගෙට ඉදි කළ ගමන් ය. 


සුනාමියෙන් හැදුණු අය අතර රාජ්‍ය නොවන සංවිධාන ලොක්කෝ මෙන් ම දේශපාලකයෝ ද වෙති. ඇතැම් දේශපාලක අතවැසියන්ට සුනාමියෙන් වූ කිසිදු හිරිහැරයක් නැතත් ඔවුන්ට නිවාස දෙක තුන ලැබී තිබේ. දැන් ඒවායින් බොහොමයක් කුලියට දී තිබේ. 


සුනාමි අවස්ථාවේදී මව්පියන් මගහැරී අතරමං වී දිවි ගලවාගෙන සිටියදී අසල්වැසියකු විසින් රෝහල්ගත කරන ලදුව පසුව දිවි බේරාගෙන පැමිණි මව්පියන් විසින් අයිතිය ඉල්ලා කරන ලද සටනක් හේතුවෙන් ලෝක ප්‍රසිද්ධියට පත්, අවසානයේදී ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් සැබෑ මව්පියන් හඳුනා ගනු ලැබූ 'බේබි 81' ලෙස ප්‍රසිද්ධ වූ කල්මුණේ අභිලාෂ් සුනාමි විපත විකුණාගෙන කෑමේ මාධ්‍ය නිරුවත හෙළි කරන කදිම නිදසුනකි. 


‍අභිලාෂ්ගේ අයිතිය පතා මව්වරුන් නවයක් සටන් කළ පුවත බොරුවක් බව දැන් හෙළි වී තිබේ. එයින් ඒ දෙමව්පියන් හා දරුවා විඳි පීඩාව අපමණ ය. ඇමරිකාවේ NBC රූපවාහිනිය ඔවුන්ගේ Good Morning America නම් වැඩසටහනට මෙම පවුල කැඳවා ගත් මුත් එම වැඩසටහනවෙනුවෙන් ඔවුන්ට මුදල් ගෙව්වේ නැත.



ඇමරිකාවේ Black Rebel Motorcycle Club නම් රොක් සංගීත කණ්ඩායම 2007දී නිකුත් කළ 'බේබි 81' නම් ගීත එකතුව මුල් සති දෙක තුළ පමණක් පිටපත් 14,000ක් විකිණුනේ අභිලාෂ් නිසා ය. එහෙත් ඔවුන්ට කිසිවක් හිමි වූයේ නැත. තවමත් එම පවුල ජීවත් වන්නේ බාගෙට ඉදි කළ නිවසකයි. විදේශ ආධාර ලැබුණේ යයි කතාවක් පැතිර ගිය නිසා ඔවුන්ට සාමාන්‍ය ආධාර ද සීමා විය.


ලංකාවේ ද සුනාමියේ දුක්බර කතා 'අනේ අපොයි', ‍'දෙයියෝ සාක්කි' ආදී ශීර්ෂ යටතේ පළ කරමින් මාධ්‍ය මුදල් ගරා ගත්හ. සුනාමියෙන් විපතට පත් වූවන් වෙනුවෙන් විවිධ දේ කරන බව කියමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ලබා ගත් ඇතැම් පිරිස් දැන් සද්ද බද්ද නැත. 

සුනාමිය මුවාවෙන් රාජ්‍ය නො වන සංවිධාන විසින් නො කළ ජාවාරමක් නැත. ඒ පිළිබඳ කතා කිරීම ‍සඳහා මෙවැනි සටහනක් ප්‍රමාණවත් නොවේ.



ජනතාවාදී කොටි සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ පවා සුනාමියෙන් ගසා කෑවේ ය. සුනාමි සහන අරමුදල් වෙනුවෙන් යයි කියමින් මෙම සංවිධාන විසින් කෝටි ගණනින් එක් රැස් කරන ලද මුදල්වලට වුණේ කුමක්දැයි කිසිවෙකු නො දනිති.


සුනාමි සල්ලි ගැන කතා අතරින් හොඳ ම කතාව 'හෙල්පිං හම්බන්තොට' කතාවයි. එකල අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ගේ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී. 

මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. එකල අග්‍ර විනිශ්චයකාරයා නම් සරත් නන්ද සිල්වා ය. එසමයේ ජනාධිපතිවරණයට තරග කරමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නම් දැන් ජනාධිපතිවරයා ය.


Comments

  1. සංවේදි නායකයාට ඔබේ ඡන්දය ලබා දෙන්න.Thank you ARTISTS.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා