ලංකාවේ සුළු ජාතික දේශපාලනයේ තීරණාත්මක සමුළුවක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ


(2009 නොවැම්බර් 19 - W3Lanka) එල්ටී.ටී.ඊ. නො වන දෙමළ කතාකරන දේශපාලන පක්ෂවල සමුළුවක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ සුරිච්හි පැවැත්වේ. ඊයේ ඇරඹුණ මෙම සමුළුව හෙට අවසන් වීමට නියමිත ය.



කලින් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල එකමුතුවක් ලෙස පැවත පසුව අක්‍රිය තත්වයක පැවති, කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු යළි ක්‍රියාත්මක වන දෙමළ තොරතුරු මධ්‍යස්ථානය විසින් මෙම සමුළුව කැඳවා තිබේ. එහෙත් මෙම සමුළුව කඩිමුඩියේ සංවිධානය කර ඇති එකක් බව පෙනෙන අතර, ඒ පිළිබඳ කිසිදු තොරතුරක් එම සංවිධානයෙහි වෙබ් අඩවියෙහි දක්නට නො ලැබේ.

කෙසේ වෙතත්, මෙම සමුළුවට සහභාගි වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ආර්. සම්බන්ධන්, දෙ.ජා.ස. මන්ත්‍රී මාවෛ සේනාධිරාජා, දෙ.ජා.ස. මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් එක් කණ්ඩායමක නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙ.ජා.ස. මන්ත්‍රී සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ලංකා වතු කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොන්ඩමන්, එම පක්ෂයේ ම මුත්තු සිවලිංගම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද, කඳුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, ඊ.පී.ආර්.එල්.එෆ්. කණ්ඩායමක නායක ටී. ශ්‍රීධරන්, ටී.එම්.වී.පී. නායක සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්, ප්ලොට් නායක ඩී. සිද්ධාර්ථන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මෙම සමුළුව සඳහා සහභාගි වෙමින් සිටිති. 


මෙම සමුළුව බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ උවමනාව මත ඉන්දියාවේ ද සහාය ඇතිව, මෙම නායකයන් අතර අවම ඉල්ලීම් පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් සිදු වන්නක් බව කොටි හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය පවසයි. 

මේ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් පිරිස් විසින් මේ දිනවල දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා පදනම ලෙස සැලකිය හැකි 1976 වඩුක්කොඩෛ ප්‍රකාශය පළි බලාත්මක කිරීමේ ප්‍රයත්නයක නියැලී සිටිති. එම පිරිස් විසින් ඊලාම් පාරජාතික පාලනයක් සඳහා ඡන්ද පැවැත්වීම ද සිදු කරමින් තිබෙන අතර එහි පළමු මැතිවරණය පසුගිය ඉරිදා නෝර්වේහිදී පැවැත්විණි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා