2009-11-17

දොම්පෙට යන පාර කොයිබදෝ - චම්පික මට කියා දෙනවදෝ


(2009 නොවැම්බර් 17 - W3Lankaකොළඹ කුණු ප්‍රශ්නයට විසඳුම් ලෙස පරිසර අමාත්‍යංශය විසින් දොම්පේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන කසල ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන ප්‍රදේශවාසී ජනතාවගේ දැඩි විරෝධය මැද අඩාල වන තත්වයක් පැන නැඟී තිබේ. 

මෙම ප්‍රදේශයේ ජනතාව ‍මෙම ව්‍යාපෘතියට විරුද්ධ වන්නේ කොළඹ කුණු අපට එපා කියමිනි. රට ඒකීය වුව ද කසල බැහැර කිරීම ෆෙඩරල් කරන්නට ඇමති චම්පික රණවකට සිදු වී තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ කොළඹ නිෂ්පාදනය වන කුණු ටික දරා ගන්නට කොළඹ ඉඩ මඳ වීමයි. 

මෙම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියට කොරියානු රජය රු. මිලියන 600ක ආධාරයක් කරන මුත් මෙය භාර ගන්නට කිසිදු ප්‍රදේශයක ජනතාව කැමති නැත. මුලින් මෙය පාදුක්ක ප්‍රදේශයේ ඉදි කරන්නට සැලසුම් කළ ද එම ප්‍රදේශයේ ජනතාව ද එයට විරුද්ධ වූහ. 


මෙම කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය සෞඛයාරක්ෂිත එකක් බව පරිසර ඇමතිවරයා කෙතරම් කීවත් ජනතාව එය පිළි ගන්නේ නැත. සිය ජීවිත කාලය පුරා ම  ජාතිවාදය හා ආගම්වාදය වැනි ලෙහෙසියෙන් කිති කැවිය හැකි දුබල ස්ථාන ම ස්පර්ශ කරමින් සිටි පරිසර ඇමති චම්පික රණවකට මෙය ජනතාවට පැහැදිලි කර දීමට තේරෙන්නේ නැත. 


මෙම කුණු මෝල හදන්නට නියමිත කැළෑව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ වන වගාවක් නිසා එය අනිවාර්යයෙන් ම කවදා හෝ කපා දමන බව ඇමති චම්පික රණවක කියන විට ඔහු තුළ ඉස්සර සිටි පරිසරවේදියා වැනි අය දොම්පෙන් මතු වී එම වනාන්තරය ආශ්‍රිත ජෛව විවිධත්වය හා ජල මූලාශ්‍ර ආදිය පිළිබඳ කතා කරති. 



වනාන්තරයක් දෙස බැලූ විට දැව පමණක් පෙනෙන්නේ බටහිර නව ලිබරල් ධනවාදීන්ටයි. සිංහල බෞද්ධයාට ඒ ගස් වටා තිබෙන පරිසර පද්ධතිය ද පෙනිය යුතු ය.



දැන් සිදු වී තිබෙන්නේ මාර ම වැඩකි. චම්පික වෙන කවුරුද වී වෙන අය චම්පික වී සිටිති. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාට ය. 


මේ නෙළා ගනිමින් තිබෙන්නේ මුළු රටේ ම මිනිසුන්ගේ ඔළු කුණු මෝල් කළ දේශපාලනයක අස්වැන්නයි.