ඇමති මණ්ඩලය කප්පාදු කරන බව ආරංචි වී ඇමතිවරු කලබලයට පත් වෙති

(2009 නොවැම්බර් 27 - W3Lanka) සියයකට අධික ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට අධික පිරිවැයක් දරන්නට මහජනයාට සිදු වීම හේතුවෙන් නැගෙමින් පවතින විරෝධය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට අවාසිදායක වීම හේතුවෙන් මහ මැතිවරණයෙන් පසු ඇමැති මණ්ඩලය අඩුකිරීමට තමන් සූදානම් බව දැන් ජනාධිපතිවරයා පවසයි. 


එහෙත් එම ප්‍රකාශයත් සමග එවැනි අලුත් ආණ්ඩුවක ඇමතිකමක් සඳහා කේවෙල් කිරීමට සුදුසුකමක් හෝ ජනාධිපතිවරයා වෙත සමීපකමක් හෝ නැති බොහෝ ඇමතිවරුන් කලබලයට පත්ව ඇති බව ද, එක්සත් ජාතික පක්ෂයට පැන ගතහොත් ඊට වඩා තැනක් ලබා ගත හැකි වනු ඇතැයි සිතමින් සිටින බව ද වාර්තා වේ. 


තමාට ලැබුණේ පාර්ලිමේන්තුවේ කථානායකවරයකු පත් කර ගත නොහැකි තරම් දුර්වල ආණ්ඩුවක් බව ද  ත්‍රස්තවාදය පරාජය කොට ඒකීය රටක් බිහිකිරීමේ තම ඉලක්කය දිනකින් හෝ කල් දැමිය නොහැකි බැවින් විවිධ පක්‍ෂ එකතු කරගෙන ආණ්ඩුව ස්ථාවර කර ගත්තේ යැයි ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන් හා ප්‍රවෘත්ති කර්තෘවරුන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) හමුවූ අවස්ථාවේදී පැවසී ය. 


එහෙත් ඇමති සංඛ්‍යාව වැඩි කිරීම සාධාරණය කරමින් ඇමැතිවරයකුට ලැබෙන අමාත්‍යාංශය කුඩා වූ තරමට ඒ කෙරෙහි වැඩි අවධානයක් යෙදවීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා පුළුල් විෂයය පරාසයක අමාත්‍යාංශ ඇති විට ඒ ඒ සංස්ථාවල කෙරෙන්නේ කුමක්දැයි ඇමැතිවරයාවත් නොදන්නා වාතාවරණයක් උදාවෙන බවත් කීය. 

ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ද පළාත් සභාවල මෙන් නිශ්චිත සංඛ්‍යාවක් බවට ව්‍යවස්ථාවෙන් ම පත් කර ගැනීම මේ සඳහා ඇති කර ගත හැකි එක් විසඳුමකි. අනෙක් පැත්තෙන් මහජන නියෝජිතයන් ඇමතිකම්වලට මෙතරම් පෙරේත වීමට හේතුවක් වන්නේ අමාත්‍යංශ හරහා දූෂණයේ යෙදීමට වැඩි ඉඩක් විවර වීමයි. මේ දුෂණයන්ට ඡන්දදායකයෝ ද සම්බන්ධ ය. ව්‍යවස්ථාදායකයේ සත්‍ය කාර්යය වන්නේ නීති සම්පාදනය බව මහජනයාවත්, මහජන නියෝජිතයන්වත් දන්නේ නැත. ඔවුන් සිතන්නේ මන්ත්‍රීවරුන් පත්කරන්නේ රස්සා ලබා ගැනීම, පාරට තාර දමා ගැනීම හා ලයිට් ගැනීම ආදී කටයුතු කරවා ගැනීමට බවයි. මේවා කිරීම සඳහා රටේ වෙනත් ආයතන තිබේ. මහජන නියෝජිතයන් විසින් කළ යුතුව තිබෙන්නේ එම ආයතන විසින් අදාල කටයුතු කරන්නේදැයි සොයා බැලීමයි. 


ඇමති මණ්ඩලය යනු ඉලක්කම් ප්‍රශ්නයක් නොව යහපාලනය පිළිබඳ බරපතල ගැටළුවකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා