සරසවි සිසුන්ගේ ලක්ෂ පහේ සමාජවාදය


(2009 නොවැම්බර් 17 - W3Lankaවිශ්වවිද්‍යාල සිසුවකු වෙනුවෙන්, පසුගිය වසරේදී (2008) රජය විසින් දරන ලද සාමාන්‍ය වියදම රුපියල් 174,000ක් වූ බව විගණකාධිපති වාර්තාවක් පෙන්වා දෙන බව අද දිනමිණ පුවත්පත පවසයි.

මේ අනුව, උපාධිධාරියකු නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් ලක්ෂ පහක් පමණ මහජන මුදල් වැය වේ යයි සිතිය හැකි ය. වෛද්‍ය, ඉංජිනේරු වැනි විශේෂ උපාධිධාරීන් තැනීම සඳහා යන වියදම එමෙන් දෙතුන් ගුණයක් විය හැකි ය. 


මේ වියදම අවසානයේදී බැර වන්නේ සිසුන් වෙනුවෙන් වූ ගිනුමට වුවත්, උසස් අධ්‍යාපනය නම්න් පඩි කන දේශපාලකයන්, නිලධාරීන්ගේ හා ගුරුවරුන් ආදීන් වෙනුවෙන් කරන වියදම් ද මෙයට අඩංගු ය. මුලින් කී දෙවර්ගය ගැන කතා තර වැඩක් නැති බැවින් ගුරුවරුන් පිළිබඳව පමණක් කතා කරමි. මේ විශ්වවිද්‍යාල ගුරුවරුන් වනාහි වෙනත් කිසිදු රජයේ සේවකයකුට හිමි නො වන අවම සේවා කාලයක්, අධ්‍යයන නිවාඩු හා ශිෂ්‍යත්ව ආදිය හිමි වන පිරිසකි. එහෙත්, ‍මෙම පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු මහජන මුදලින් ශාස්ත්‍රීය උන්නතිය වෙනුවෙන් දෙන මෙම වරප්‍රසාද පාවිච්චි කරන්නේ ටියුෂන් හා වෙනත් බිස්නස් කරන්නට, දේශපාලකයන්ට කඩේ යන්නට හා නිකම් ඉන්නට මිස වෙනත් දෙයක‍ට නො වේ. දේශන පවත්වනවා යි කියමින් තමන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ සටහනක් කියවීම හැර සිසුන්ගේ ඥාන වර්ධනය සඳහා මෙවැනි ඇදුරන් කරන කාර්යයක් නැත.


බොහෝ විශ්ව විද්‍යාල පීඨවල ශාස්ත්‍රීය පරිසරයක් නොමැති අතර ඇත්තේ සටහන් ලියා ගැනීම, කට පාඩම් කිරීම, ගුරුවරුන්ට පන්දම් අල්ලා විභාග සමත් වී කීපදෙනෙක් අධ්‍යයන කාර්ය මණ්ඩලයට බැඳීම හා නො ගැඹුරු දේශපාලනයයි. තමන් සිටින ළිදෙන් එහා ලෝකයකට විවෘත වීමේ උවමනාවක් සිසුන් යයි කියන මේ ළිං මැඩියන්ට ද නැත.



අන්තිමේදී දැනුමෙන්, කුසලතාවන්ගෙන් හිස් ඍණ ආකල්ප ඇති උපාධිධාරියෙක් 'සරසවියෙන්' දොරට වඩින අතර පෞද්ගලික අංශයේ රැකියා මොවුන්ට නො ලැබෙන බැවින්මහජන මුදලින් වැඩි පඩි ලැබෙන, වැඩ නැති රජයේ රැකියා ඉල්ලා උපවාස කිරීම පෙළපාලි යාම ආරම්භ කරති. කෙසේ හෝ රජයේ සේවයට පිවිසි දා සිට තමන්ට උපාධියක් ඇතැයි හිස උදුම්මාගෙන සමාන මැඩ කොටසක් කරන සෙසු රජයේ සේවකයන්ට නැති වරප්‍රසාද උපාධිය වෙනුවෙන් තමන්ට දෙන්නැයි ඉල්ලමින් මහජනතාවට වධ දෙති. 

මේ අතර, වෛද්‍ය වැනි තවත් ඇතැම් උපාධිධාරීන් රජයේ සේවයට පිවිසි දා සිට ම විශ්‍රාම යන වයසේ සිටින සෙසු සෞඛ්‍ය සේවකයන්ගේ වැටුපට වැඩි වැටුප් තලවල තමන් පිහිටුවන ලෙස ඉල්ලති. නියමිත වෙලාවට පොත අත්සන් කිරීමක්වත් නො කරන වෛද්‍යවරු උපාධිය ගත් දා සිට ම තමන් වෙනුවෙන් බදු මුදල් වැය කළ ජනයා සූරා කෑම සඳහා දමා ගන්නා කඩයට හෙවත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකට මූලිකත්වය දෙති.



ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ රටේ වාමාංශිකයන් මෙයට කියන්නේ නිදහස් අධ්‍යාපනය කියා ය. මෙය වෙනස් කිරීමට කිසිවකු උත්සාහ කළහොත් ඒකා නිදහස් අධ්‍යාපන අයිතිය පැහැර ගන්නකු ලෙස නම් වෙයි. 


ලංකාවේ අතරමැදි පංතික සමාජ ස්ථරයක් විසින් කරනු ලබන මේ මහජන මුදල් ගසා කා සැප විඳීම ඔවුන්ගේ පංතියට හා දේශපාලන ව්‍යාපාරවලට සමාජවාදය නම් වේ. 

අධ්‍යාපනය ජාතික විය යුතු මුත් රාජ්‍යය විසින් මෙහෙයවනු ලබන්නක් නො විය යුතු බව ද රජය කළ යුත්තේ නීති පිළිපදින්නේදැයි අධීක්ෂණය සඳහා පරීක්ෂකයන් පත් කිරීම බව ද එය කම්හල්වල ක්‍රියාකාරිත්වයට ඇඟිලි ගැසීමේ බලය නැති එහෙත් නීති ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලන නිලධාරීන්ගේ කාර්යයට සමාන විය යුතු බව ද මාක්ස් 1869 අගෝස්තු 17 දින බැස්ල් කොංග්‍රස් වැඩසටහන පිළිබඳ පක්ෂ මහ සභා රැස්වීමකදී කියා ඇති බව එම රැස්වීම් වාර්තාවල සඳහන් වේ. එම රැස්වීමෙහිදී ම ප්‍රසියානු අධ්‍යාපනය පිළිබඳ කතා කරන මාක්ස් පවසන්නේ එය හොඳ සොල්දාදුවන් තැනීම සඳහා බවයි. 


ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හොඳ මධ්‍යම පංතික දේශපාලන ආධිපත්‍යය ආරක්ෂා කරන වත්මන් ක්‍රමය රැක ගැනීමට අවශ්‍ය රජයේ සේවක පැළැන්තිය ගොඩනැඟීමටයි.





Comments

  1. but the story is different in engineering faculty. their curriculum updates annually and they never ask for government jobs. there is no such a favoration in this faculty.

    ReplyDelete
  2. නිදහස් අධ්‍යාපනය කෙසේ වෙතත්, ලංකාවේ අද්‍යාපනයට නිදහස ලෑබිමට කාලය පැමින ඇති බව මාගේ හැගීමයී.

    ReplyDelete
  3. මම විශ්ව්විද්‍යාල ජීවිතයේ දැනට අවුරුදු 25 කට වැඩි අත්දැකීම් තිබෙන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. මෙම ලිපිය ලියා ඇයි කෙනා විශ්විද්‍යාල වල පීඨ කිහිපයක් ගැන පිටින් දන්න කෙනෙකි. මෙයට දීර්ඝ පිළිතුරක් සැපයීම්ට මට වෙළාව නොමැත. මම ප්‍රධාන වශයෙන් දන්නේ කොළඹ විශ්වවිද්‍යාලය පිළිබඳවය. දොස්තරවරු නිදහස් අධ්‍යාපනට රජය සහ තම දෙමපියන් වියදම් කල මුදල් වලින් උපරීම ප්‍රයොජන ගථ් අයයි. ඔබට අවශ්‍යනම්, සමීක්ෂනයක් කර බලන්න.

    මෙම ලිපියෙ අඩංගු ගොඩ්ක් කරුණු සාවධ්‍ය වේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා