සූකර උණෙන් මධ්‍යම පාසල් වැසේ; බලධාරීහු කඹ අදිති; ගුරුවරු රස්තියාදු වෙති


(2009 නොවැම්බර් 23 - W3Lanka) සූකර උණ ව්‍යාප්තිය වැළැක්වීමට මධ්‍යම පළාතේ පාසල් වසා දැමුව ද එම පාසල්වල ගුරුවරුන්ට නිවාඩු ලබා නො දීම නිසා ඔවුන් තවමත් පාසල්වලට සේවය සඳහා වාර්තා කරති. 

මෙම ගුරුවරුන් වෙතින් ද රෝගය බෝ වීමේ අවදානමක් ඇති බැවින් හා ඔවුන් කිසිදු ඵලදායී කාර්යයකට යොදා නො ගැනෙන නිසා ඔවුන්ට ද නිවාඩු ලබා දෙන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිති. 



පාසල් වසා දැමීම සම්බන්ධයෙන් පළාත් හා මධ්‍යම රජයේ බලධාරීන් අතර කඹ ඇදීමක් ඇති බව ද, රෝගය වසංගත තත්වයට පත් වීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ට කිසිදු වැඩපලිවෙළක් නො තිබුණු බව එයින් ම පෙනෙන බව ද ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසයි. 


යම් බෝවන රෝගයක් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හේතුවිය හැකි කාරණා බොහොමයක් ඇති බව ද. එම තත්ත්වය වැළැක්වීමට පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින් මෙන්ම මූලික වශයෙන් මධ්‍යම ආණ්ඩුවද වහා ගත යුතු පියවර රාශියක් තිබියදී එසේ නොමැතිව පළාත් සභාවත්, මධ්‍යම ආණ්ඩුවත් එකිනෙකට පරස්පර තීන්දු ගැනීම තුල තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට හා අවුල් වීමට හේතු වන බව හා විසඳුමක් කරා ලඟාවීමට ඇති ඉඩකඩ ද බැහැරවන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මධ්‍යම පළාත් මහ ඇමතිවරයාට ලිපියක් යොමු කරමින් පවසයි. 


තමන්ගෙන් නො අසා පාසල් වැසුවේ යයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත කියයි. පාසල් වැසීම සම්බන්ධයෙන් තීරණය සිකුරාදා ලැබෙන වාර්තාවක් අනුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. පළාතේ අධ්‍යාපන හා සෞඛ්‍ය ඇමති ද වන මහ ඇමති සරත් ඒකනායක පවසන්නේ පාසල් දිගට ම වසා තැබීමට තමන් ගත් තීන්දුවේ වෙනසක් නැති බවයි. වෛරසය කුමක් කියන්නේදැයි අපි නො දනිමු.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා