රාජරත්නම්ගෙන් රවි කරුණානායක, TRO විතරක් නෙමෙයි අධිකරණ අමාත්‍යංශයත් මුදල් අරගෙන


(2009 ඔක්තෝබර්  22 - W3Lanka) අයථා මාර්ගවලින් ලද තොරතුරු පදනම් කරගෙන කොටස් ගනුදෙනුවල යෙදීමේ චෝදනාව එක්සත් ජනපදය විසින් එල්ල කර තිබෙන ගැලියන් අරමුදලේ ප්‍රධාන විධායක රාජ් රාජරත්නම් අත්අඩංගුවේ සිටින කොටි ක්‍රියාධරයන් පුනරුත්ථාපනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියනයක ආධාර රජයට සැපයීමට එකග වී තිබේ. මේ පිළිබඳව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය රාජරත්නම් සමග සැප්තැම්බරයේ ගිවිසුමකට එළඹ ඇති බව ද දැනගන්නට තිබේ. මෙම අරමුදල් ලබා ගැනීම පිළිබඳව විදේශ අමාත්‍යංශය විරෝධය පා ඇතිමුත් එය සැලකිල්ලට ගෙන ඇති බවක් නො පෙනේ.

එහෙත්, රාජරත්නම් දෙමළ පුනරුත්ථාපන සංවිධානයට ලබා දුන් මුදල් පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් සිදු කෙරෙමින් ඇති බව මහ බැංකුව ඔහු අත්අඩංගුවට ගෙන තෙදිනකට පසු සඳුදා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

විදේශ විනිමය පාලන නීති උල්ලංඝනය කරමින් රාජරත්නම්ගෙන් කොළඹ පිහිටි විදේශීය බැංකුවක ගිණුමකට පසුගිය මැයි මාසයේ දී ඩොලර් මිලියන තුනක් ගෙන්වා ගත් චෝදනාව මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සහ තවත් අයකුටත් සමාගමකටත් එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. 

2005 ජනාධිපතිවරණයට පෙර ලංකාවේ සමාගම්වල ඔහු සතුව තිබූ කොටස් විකුණා දැම්මේ ‍කොටි සංවිධානය විසින් දෙමළ ජනයා ලවා ජනාධිපතිවරණය වර්ජනය කරවීමට යන බව හා එසේ වුවහොත් ව්‍යාපාරික හිතවාදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ වැටෙන බව දැනගෙන යයි අනුමාන කෙරේ.

කෙසේ වෙතත්, ලංකාවේ ඔහුගේ අයථා කොටස් ගනුදෙනු පිළිබඳ මෙතෙක් පරීක්ෂණයක් ආරම්භ වී නැත.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා