මේ බෝට්ටු මිනිස්සු උපන් රටට පිටු පානා අය ද? ආර්ථිකය රකින ශ‍්‍රම හමුදාවක් ද?

(2009 ඔක්තෝබර්  25 - W3Lanka) ලංකාවේ සිට  ඕස්ටේ‍්‍රලියාවට පළා යමින් සිටි 260ක පමණ පිරිසක් ඉන්දුනීසියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් සතියකට පසු ලංකාවේ සිට කැනඩාවට කුඩා නැවකින් පළා යමින් සිටි 76ක පිරිසක් වැන්කුවර් ආසන්න මුහුදේදී කැනේඩියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මේ පළා යන පිරිස් අතරින් බහුතරය දෙමළ අය වීම හා ඔවුන් තමන් යුද අනාථයන් ලෙස හඳුන්වා ගැනීමත්, ආපසු සිය රට යනවා වෙනුවට වෙනත්  ඕනෑම රටකට යාමට කැමැත්ත පළ කිරීමත් සමග ලංකාවේ කීර්ති නාමයට එය බල පා තිබේ.

මීට පෙර වාර්තා වුණේ ලංකාවේ සිට ඉතාලියට බෝට්ටු මගින් පළා යාමට දරන උත්සාහයන් වුව ද දැන් දැන් වෙනත් ගමනාන්තයන් කරා ද මෙම ගමන් යොමු වී තිබේ. ඉස්සර මෙන් වැඩි දියුණු කරන ලද ධීවර බෝට්ටු නොව කුඩා නැව් හා නව තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමත් සමග මේ පිටුපස මිනිසුන් හොරෙන් එහෙ මෙහෙ ගෙන යාමේ දැවැන්ත ජාවාරම් ඇති බව පෙනේ.

ලංකාවේ සිට බෝට්ටුවල නැගී ඔස්ටේ‍්‍රලියාවට යන ලාංකිකයන් ගණන වැඩි වීමත් සමග මෙවැනි බෝට්ටු ගමන්වල අනතුරුදායකබව වෙරළබඩ ගම්මානවල මිනිසුන්ට වීදි නාට්‍ය, පෝස්ටර්, පත‍්‍රිකා, බැනර් හා සම්මන්ත‍්‍රණ ආදිය ආශ‍්‍රයෙන් දැනුවත් කිරීමේ කොන්ත‍්‍රාත්තුවක්  ඕස්ටේ‍්‍රලියානු රජය විසින් සාචි ඇන්ඞ් සාචි ප‍්‍රචාරක සමාගමට භාර දී තිබේ.

මෙම ගමන්වල ඇති අනතුරුදායකකමේ තරම, මිනිසුන් මෙසේ තැනින් තැනට ගෙන යන ජාවාරම්කරුවන් හෙවත් ට‍්‍රැෆිකර්ස්ලා තියන පොලූ පිළිබඳ හා අදාළ රටේදී වීසා නැතිව අසු වුණොත් ආපසු එන්නට වන බව මේ සංක‍්‍රමණිකයෝ හොඳින් දනිති. එහෙත්, ලංකාවේ ගෙවන දිවියට වඩා සුව පහසු දිවියක් සොයා මේ මිනිස්සු දියුණු රටවලට පළා යති. ඔවුන්ට එම රටවල රැකියාවක් සොයාගැනීම ලංකාවේදී තරම් දුෂ්කර නැත. එසේ ම එම රටවල වැසියන් කිරීමට අකැමැති දුෂ්කර කාර්යයන් සඳහා යෙදවෙන මේ මිනිස්සු ලංකාවේ එවැනි රැකියාවක් සඳහා මසකට ලැබෙන වැටුප මෙන්  දසගුණයකට වඩා වැටුප් ලබති. ඔවුහු එහි හොඳ ජිවිත ගත කර ලංකාවට මුදල් ද එවති.

ලංකාවේ මධ්‍යම පංතිය අතර, විශේෂයෙන් ම දෙමළ මධ්‍යම පංතිය අතර, බටහිර රටවල පදිංචියට යාම විලාසිතාවක් බවට පත් වී තිබේ. විදේශයන්හි සිටින ඔවුන්ගේ ඇතැම් ඥාති මිත‍්‍රාදීහු සංක‍්‍රමණ කටයුතු පිළිබ`ද ‘විශේෂඥයන්‘ වන අතර නීත්‍යානුකූල මෙන් ම නිති විරෝධී මාර්ග ඔස්සේ ද ඔවුහු සිය ඥාතීන් ඒ රටවලට ගෙන්වා ගනිති.

දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම ද මෙම සංක‍්‍රමණිකයන්ගේ උපාය මාර්ගයකි. පොලිසියෙන්, ආණ්ඩුවෙන් හා සන්නද්ධ කණ්ඩායම්වලින් කරදර ඇති බව කියා ඒ රටවල දේශපාලන රැකවරණ පතන බොහෝ දෙනෙකුට ඇත්තෙන් ම සිදු වී ඇති කරදරයක් නැත. මෙසේ රට අපකීර්තියට පත් වන අන්දමේ බොරු ප‍්‍රකාශ විදෙස් රටවල ආගමන නිලධාරීන් හමුවේ පවසන ඇතැම් සිංහලයෝ මහා දේශපේ‍්‍රමීහු ලෙස ද හැසිරෙති.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය මහ පිරිසක් නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථිකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 මානව සංවර්ධන වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්ලූගන් පවසන පරිදි සංවර්ධනය සඳහා සුවිසල් දායකත්වයක් සැපයීමේ හැකියාවක් සංචලනයට තිබේ. වර්තමානයේදී සංචලනයට ඇති බාධක ඉවත් කරන්නේ නම් එමගින් සංවර්ධනය ඉහළ නැංවීමේ හැකියාවක් තිබෙන බව ද ඇය පවසයි.

දිළිඳු රටවලින් සංක‍්‍රමණය වන උගත් වෘත්තිකයන් සාමාන්‍ය කම්කරු රැකියාවල යෙදීම සංක‍්‍රමණිකයන් අතර සුලබ ය. ලංකාවට අදාළව නම්, මහජන මුදලින් අධ්‍යාපනය ලැබූ ඇතැම් රටට දැඩි සේ අවශ්‍ය වෘත්තිකයන් මෙසේ විදේශගත වීම රටට ගැටළුවකි.


ලංකාවට විදේශ විනිමය එවන විදෙස් රටවල සිටින ලාංකික ශ‍්‍රමිකයෝ හැම කෙනෙක් ම නීත්‍යානුකූල මාර්ගවලින් සංක‍්‍රමණය වූවෝ නො වෙති. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. මෙය රටේ දෙවන ප‍්‍රධාන ම ආදායම් මාර්ගයයි. ලංකාවේ විදේශ ශ‍්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ‍්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි.

දියුණු රටවල ඇත්තෙන් ම ලංකාව වැනි දිළිඳු රටවලින් එන ශ‍්‍රමිකයන් සඳහා පුරප්පාඩු තිබේ. කැමති අයට ඒ සඳහා යාමට නීත්‍යානුකූලව ඉඩ ලබා දිය යුතු ය. ශ‍්‍රමය අවශ්‍ය තැනට ශ‍්‍රමිකයන් සංක‍්‍රමණය වීම ඉතිහාසය පුරා ම සිදු වූ ක‍්‍රියාවකි. දිළිඳ රටවල ජනයා රැකියා සොයා පැමිණීම වැළැක්වීමට දියුණු රටවලට සිදු වී තිබෙන්නේ ලෝකයේ ජාතීන් අතර ආර්ථික විෂමතා තීව‍්‍ර වීම නිසා ය. එහෙත්, ප‍්‍රාග්ධනයට ලොව පුරා සංචලනය වීමට තිබෙන නිදහස ලබා ගැනීම සඳහා ශ‍්‍රමයටත් හිමිකමක් තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා