ජී.එස්.පී. ප්ලස් ඉවරයි? ආණ්ඩුව යුරෝපයේ මිනිසුන්ට ලංකාවේ දුප්පතුන්ගේ මුදලින් යට ඇඳුම් ඇන්දවීමට යයි



(2009 ඔක්තෝබර්  19 - W3Lanka) ලංකාවේ කාන්තාවන් බහුතරයක් වන ඇඟලුම් කම්කරුවන්ගේ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රයෙන් ජීවනෝපාය සරි කර ගන්නා දස ලක්ෂයක පමණ පිරිසකගේ ජීවිතවලට ඍජුව ම බලපාන යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය පිළිබඳ වැදගත් පියවරක් අද ගැනීමට නියමිත ය.

විශේෂඥයන් පිරිසක් විසින් කරනු ලබන නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද දින යුරෝපා සංගමයට භාර දෙනු ලබන අතර එතැන් සිට දෙමසක් ඇතුළත යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය පිළිබඳ අවසන් නිගමනයට එළඹෙනු ඇත. ලකාවේ රජය ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරන බවට මෙම විශේෂඥ පිරිස දැනටමත් චෝදනා කර තිබේ.

රොයිටර් සහ තවත් ජාත්‍යන්තර ජනමාධ්‍ය කීපයක් ම යුරෝපා සංගමයේ මුලාශ්‍ර උපුටමින් පවසන්නේ ලංකාවට මෙම තීරුබදු සහනය නො ලැබීමට ඉඩ ඇති බවයි. ඇඟලුම් නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වර්ග 7200කට මෙම සහනය හිමි වේ.

ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට යුරෝපා සංගමය විසින් කරනු ලැබූ ඉල්ලීම ජාත්‍යන්තර වෙළඳ ඇමති ජි.එල්. පීරිස් ප්‍රමුඛ රජයේ බලධාරීන් විසින් පුන පුනා ප්‍රතික්ෂේප කරන ලදී.

ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අහිමි වුවහොත් ලංකාවෙන් යුරෝපයට යැවෙන ඇඟලුම්වල මිළ 10%කින් පමණ වැඩි වන අතර, චීනය වැනි ශ්‍රම වියදම් අඩු රටවලින් හා බංග්ලා දේශය වැනි බදු සහන ලබන රටවලින් එල්ල වන තරගකාරිත්වය හේතුවෙන් ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩු වීමට ද විදෙස් ආයෝජකයන් කම්හල් වසා වෙනත් රටවලට යාමට ද ඉඩ තිබේ. එසේ වීමෙන් ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීම වැළැක්වීම පිණිස රජය දැන් ඇඟලුම් කර්මාන්තයට සහන පැකේජයක් දීමට අදහස් කරයි. මහජන බදු මුදලින් ලබා දෙන මෙම සහනය සමාන වනු ඇත්තේ යුරෝපයේ මිනිසුන්ට ලංකාවේ දුප්පතුන්ගේ මුදලින් යට ඇඳුම් ඇන්දවිමටයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහන ලැබීමට නම් එය ලබන රටවල් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, සංවර්ධනය හා යහපාලනය හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27ක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි.

Comments

  1. ගොන් ජරා රජාගේ මෝඩ කම නිසා GSP+ නැතිවුණෝත් ගාමන්ට් වල රස්සාවල් නැති වෙන ළමයි ඔක්කොටොම අණර්කලිට වගෙ ඊ ලඟ ඡන්දේට නොමිනේශන් දෙනවාලු.

    ReplyDelete
  2. මේ රටේ මී හරක් ඒක නැති කර ගත්තොත් පුදුමයක් නෙවෙයි. ඇත්තෙන්ම මේ රටේ තත්වය නිදහස් මතධාරීව කතා කරන්නවත් නිදහසක් නෑනෙ. ඉතින් මානව හිමිකම් ස්ථාපනය කරනවා වෙනුවට මේ කාලකණ්ණි කරන්නෙ මානව හිමිකම් කඩවෙන බව පවසන එවුන්ගෙ බෙල්ල මිරිකන්න හදන එක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා