ආණ්ඩුව අන්තර්ජාල වාරණයට මාධ්‍ය ‘පොලිසියක්‘ පත් කරයි


(2009 ඔක්තෝබර්  21 - W3Lanka) අසත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන වෙබ් අඩවි පිළිබඳ සොයා බැලීමට යයි කියමින් අන්තර්ජාල වාරණය සඳහා කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇති බව ජනමාධ්‍ය ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී හෙළිදරව් කළේය. 


මෙම කමිටුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත වන අතර එය විසින් මෙතෙක් වෙබ් අඩවිවල ප්‍රචාරය වී තිබෙන අසත්‍ය ප්‍රවෘත්ති පිළිබඳ සොයා බැලීම සිදු කෙරෙන බව ඇමතිවරයා පවසයි. 


මේ දිනවල වෙබ් අඩිවි කිහිපයක, රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් හිතාමතාම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ජනමාධ්‍ය ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

2009 මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන නින්දිත ස්ථානයේ සිටින ලංකාවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝකය ඉදිරියේ ඇති චිත්‍රය තවත් දුර්වර්ණ වන මෙම පියවරවලින් රජය තවදුරටත් අපහසුතාවට පත් වීමට ඉඩ ඇති බව ද, යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා ගැනීම වැනි කාරණාවලදී මෙවැනි වාරණයන් අහිතකර ලෙස බල පෑ හැකි බව ද විශ්ලේෂකයෝ පවසති.


රජය මේ වන විටත් ලංකා නිව්ස් වෙබ් හා ටැමිල්නෙට් වැනි ප්‍රවෘත්ති වෙබ් අඩවි කීපයක් ම අනියමින් බාධා කර ඇති මුත් දැන් බොහෝ දෙනා එවැනි අවස්ථාවලදී ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒවා වෙත පිවිසෙන බව ද, බාධා කිරීම හා රජයේ මාධ්‍ය හරහා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම වෙබ් අඩවිවල පාඨක පිරිස වැඩි වන බව ද වාර්තා වේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා