හොන්ඩියුරාස්හි ජනාධිපතිවරණය හා බලයෙන් පහ කළ සෙලායා


(2009 ඔස්තෝබර් 31 - W3Lankaහොන්ඩියුරාස් ජනාධිපතිවරණය මේ මාසයේ පැවැත්වීමට නියමිත ය. එහෙත් ඉන් කවුරු ජය ගත්ත ද ලෝකය එම ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය පිළි ගන්නා බවක් දක්නට නැත. එයට හේතුව බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපති මැනුවෙල් සෙලායා සහ රජය අතර සාකච්ඡා සම්මුතියකින් තොරව බිඳ වැටීම හා රජය සෙලායා සමග සාකච්ඡා  ප‍්‍රතික්ෂේප කිරීමයි.

ජනවාරි දක්වා බලයේ සිටීමට වරම් ඇති හිටපු ජනාධිපති සෙලායාව බලයෙන් පහ කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදී ය. හොන්ඩියුරාස් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට බලයේ සිටීමට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත. එතරම් වැඩක් කිරීමට නොහැකිව අවසන් වන සිය ධුර කාලය දික් කර ගැනීමේ ප‍්‍රතිසංස්කරණ කෙරෙහි සෙලායාගේ අවධානය යොමු වන්නේ මෙම සංදර්භය තුළයි. සෙලායා මෙම නීති වෙනස් කර දෙවන වරට ජනාධිපති වීම පිණිස මැතිවරණය තරග කිරීමට හැකි වන පරිදි ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරමින් සිටියදී එරට පාර්ලිමේන්තුව හෙවත් කොංග‍්‍රසය ඔහු ඉවත් කිරීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගත්තේ ය. ඉන් පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අනුමත කළ අතර, හමුදාව ඔහු රටින් පිටුවහල් කිරීමට පියවර ගත්තේ ය. සැප්තැම්බරයේ යළි සිය රටට පිවිසි හේ දැන් බ‍්‍රසීල තානාපති කාර්යාලයේ රැඳී සිටිමින් රජය සමග ද සම පාර්ශ්වකරුවකු ලෙස ගනුදෙනු කරයි.


සෙලායා ජනාධිපති බවට පත් වූයේ ලිබරල් පක්ෂයෙන් තරග වදිමිනි. බලයට පත් වීමෙන් පසු ඔහු වාම නැඹුරුවකින් කටයුතු කළේය. වසර 47කට පසු අසල්වැසි කියුබාව සමග රාජ්‍යන්‍ තාන්ත‍්‍රික සබඳතා ගොඩනඟා ගත්තේ ය. වෙනිසියුලාව සමග රටට වාසිදායක තෙල් ගිවිසුමක් අත්සන් කළේය. ලෝකයට වාමාංශික ප‍්‍රදර්ශනයක් කිරීමට ඔහු සමත් වුව ද ආර්ථික අර්බුදය විස`දීමට හෝ දිළිඳු ජනයා අතර ජනප‍්‍රිය වීමට සෙලායා අසමත් විය. එක පැත්කින්, හොන්ඩියුරාස් ජනාධිපතිවරයාට ආර්ථික පාලනයේදී මැදිහත් වීමට හැක්කේ සීමා සහිතව වීම ද මෙයට හේතු විය. අනෙක් පැත්තෙන් ඔහුගේ පක්ෂය ම කොංග‍්‍රසයේදී ඔහුට නිසි සහායක් දුන්නේ නැත. එපමණක් නොව ඔහුගේ පක්ෂ මන්ත‍්‍රීවරු ඔහු ඉවත් කිරීමේ යෝජනාවට ද ඡන්දය දුන්හ.


ඇත්තෙන් ම ගතහොත් සෙලායා රටෙහි වෙනසක් කිරීමට තිබුණු කාලය නාස්ති කර ගත් අයෙකි. දෙවන වරට ජනාධිපති වීමට හැකි වන පරිදි ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමට ඔහු දැරූ ප‍්‍රයත්නය පහසු එකක් නොවේ. ඒ ස`දහා ඔහුට ඔහුගේ පක්ෂයේ සහායවත් නො ලැබුණු අතර, ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳ ජනමතවිචාරණයක් ජයගෙන කොංග‍්‍රසය හරහා අදාළ ක‍්‍රියාමාර්ග ගැනීම ඔහුට පහසු නො වූවා පමණක් නොව ඒ සඳහා අත ගසන විට ඔහුට සිය ධුර කාලයෙන් ඉතිරිව තිබූ සය මස ඒ සඳහා ප‍්‍රමාණවත් වූයේ ද නැත. මේ වසරේ මුල් කාර්තුවේ ජනමත සමීක්ෂණ විසින් පෙන්වා දුන්නේ ඔහුගේ ජනප‍්‍රියත්වය 25% දක්වා බිඳ වැටී ඇති බවයි. හැරත් ඔහුගේ පක්ෂය වන ලිබරල් පක්ෂයවත් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය දීමේ සූදානමක සිටියේ නැත.


එහෙත්, ඔහුට විරුද්ධ දේශපාලකයන්ට වඩා ඔහු දක්ෂයකු වූ අතර ඔහු විසින් එළන ලද උගුලේ දක්ෂිණාංශික බලවේග හා හොන්ඩියුරාස්හි ධනවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන හමුදාව සහ අධිකරණය පවා හසු වූයේය. ජනවාරි දක්වා ඔහුට බලයේ ඉන්නට අවස්ථාව දුන්නා නම් සෙලායාට අත්පත් කර ගත නො හැකිව තිබුණු ජයග‍්‍රහණයක් විරුද්ධ බලවේග විසින් බලයෙන් පහ කරනු ලැබීම නිසා දැන් ඔහුට ලැබී තිබේ.


ඔහු දැන් රට තුළ මෙන් ම ජාත්‍යන්තරවත් ජනප‍්‍රිය ය. නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය ජාත්‍යන්තර පිළිගැනීමට ලක් නො වීම ම සෙලායාගේ ජයග‍්‍රහණයකි. එය ඔහු අපේක්ෂා කළ පරිදි ම හොන්ඩියුරාස්හි පාලන ක‍්‍රමය හා ව්‍යවස්ථාව අර්බුදයට පත් කිරීමට හේතු වී තිබේ.
 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා