දුප්පත් කම්කරුවන්ට ලාබෙට අරක්කු ටිකක් දියව් - ඇමති මිල්රෝයිට මල් මිටක්


(2009 සැප්තැම්බර් 28 - W3Lanka) වැඩ කරන කම්කරුවන් සඳහා අඩු මිලකට මිලදී ගත හැකි රජයේ අනුමත මත්පැන් වර්ගයක්‌ ලබාදිය යුතු බව තමාගේ අදහස යෑයි ජනතා වතු කළමනාකරණ සහ සංවර්ධනය කිරීමේ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා ප්‍රධාන සුරාබදු පරීක්‍ෂක සහ සුරාබදු පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ 15 වැනි සංවත්සර අමතමින් කීවේය.


"සුරාබදු දෙපාර්තමේන්තුවට අමතරව සෑම පොලිස්‌ ස්‌ථානයකින් සහ තවත් වැටලීම් ඒකකවලින් මත්පැන් වැටලීම් කරනවා ඒත් නීති විරෝධී මත්පැන් නැවැත්වීමට බැරිවෙලා තියෙනවා. එසේ බැරිවී තිබෙන්නේ අඩු ආදායම් කම්කරුවන් නීති විරෝධී මත්පැන්වලට පුරුදු වී සිටීම නිසයි. එම නිසා නීති විරෝධී මත්පැන් නැති කිරීමට එම කම්කරුවන්ට අඩු මිලකට මත්පැන් වර්ගයක්‌ ලබාදිය යුතුයි," යි ඇමති පවසයි.



ඇතැම් කම්කරුවන් ඇඟපතේ අමාරුවට කසිප්පු බොති. කසිප්පු බිවූ විට ශරීර සෞඛ්‍යය පිරිහේ. සාමය බිඳෙන අවස්ථා ද තිබේ. එහෙත්, අනාදිමත් කාලයක සිට මිනිස්සු රහමෙර බොති. දුක හැර විඳින්නට අන් දෙයක් නැති ජනයා සේම ජීවිතය විඳින ධනවත්තු ද මතට ගිජු වෙති. 


හැන්දෑවට මත්පැන් ටිකක් තොලගෑම ඔච්චර වැරදි යයි සිතන ආණ්ඩුව දුප්පත් මිනිසුන්ට විවේකය ගත කිරීම සඳහා සපයා තිබෙන්නේ කුමක්ද? කසිප්පු බිව්වත්, පබා බැලුවත්, රාජපක්ෂගේ හෝ වීරවංශගේ හෝ කතාවක් ඇහුවත්, පන්සල් ගියත් වර්තමානයේදී ලැබෙන්නේ එකම ඩෝප් එකයි. 


මතට තිත කෙසේ වෙතත්, මේ ආණ්ඩුව පවතින්නේ බොන එකාට පිං සිදු වන්නටයි. හාල්වලින් සීනිවලින් පෙට්‍රල්වලින් බදු ගසන්නා වාගේ නොව අරක්කුවලින් හිටගෙන බදු ගැසිය හැකිය. එසේ බදු අය කිරීමට පක්ෂව ඡන්දෙ දීම පිණිස බණ කීමට හාමුදුරුවරු ද, එකී බණ ඇසීමට පීඩිත උපාසකම්මලා ද ඕනෑ තරම් සිටිති. උන්ගේ මිනිස්සු ඔය බණ නොඅසා බණ ගෙවල්වල එළියේ කාඩ්, කැරම් ගසති. පෝය දාට කඩමණ්ඩියේ රස්තියාදු ගසති. අරක්කු ගන්නට සල්ලි නැති වූ විට කසිප්පු ගසා මැරෙති. මහින්දගේ හයිය අරගෙන ගෙවල් ඇතුළේ මතට තිත තියන්නට යන අසරණ ගෑනු වැඩියෙන් ගුටි කති.


ගැහැනුන්ට වඩා පිරිමි බොති. බොන මිනිහාට වඩා නොබොන එකා හොඳ යයි ඔප්පු කළ හැකි කිසිවෙක් මේ සමාජයේ නොවෙති. හුඟක් බොන එවුන් බිව්වාම හරි විවෘතය. බොහෝ නොබොන එවුන්ගේ සිත්වල තිබෙන කුහකකම් උඩ ඉන්න දෙයියන්ටවත් හිතා ගන්නට බැරිය. 


අනෙකෙකුගෙන් කතන්දර නොඅසා, කාටවත් කරදර නොකර නිදහසේ අරක්කු ටිකක් බොන නිදහස ද ලංකාවට අවශ්‍යය. කවුරුත් කතා කරන්නට බයෙන් සිටින මේ අයිතිය ගැන කතා කළ ඇමති මිල්රෝයිට මෙන්න අපෙන් මල් මිටක්!

Comments

  1. “මහින්දගේ හයිය අරගෙන ගෙවල් ඇතුළේ මතට තිත තියන්නට යන අසරණ ගෑනු වැඩියෙන් ගුටි කති.” මරු වගන්තිය ඒක.
    අපේ මිනිස්සු බොන එක නෙවෙයි වැරැද්ද - බොන එකේ සීමාවක් දන්නෙ නැති එක. තහංචි දාන්න ගියාම වැඩි වැඩියෙන් බොන්න පුරුදු වෙන එකයි වෙන්නෙ. බාර් වහන කොට ඩ්‍රෑම් එකක් වෙනුවට බෝතල් නෙ ගන්නෙ...

    ReplyDelete
  2. issara kmkaruwan kara adu ganata thiyana kasippu tikak bela gadara yana1.gadara yanakota gadaratath monawa hari araganai yanna.ath dan walathiyanna eta wanas dayak.bona aka kohomath bonawa.dan kasippu nathi nisa arakkuma bonna puruduwala.arakkuth ganan yanawa.athakota ithin gadarata aran yana 1 thama aduwanna.gadara aga higako thibbata wdiya wadiwanawa.oya nithi hadana mahathuru hithuwada danna na mawatath vikalpa thiyanawada kiyala

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මෙන්න මගෙන් මල් වත්තක්ම

    ReplyDelete
  5. ela . . . magentu hmalak dekak . . .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා