බිම්මල් වී මියෙන ආකාස කුසුම්වල කතාව

අජිත් පැරකුම් ජයසිංහ -

"මෙතන, ප්‍රශ්නෙ මොකුත් නෙමෙයි. මේකි ........., ........... වගෙ ඉන්නව නම් කමක් නැහැ. (මොකද , උන් ගාව බොරු නැහැ. උන් ගොන්නු විදිහට ප්‍රසිද්ධියෙම ඉන්නව.) නමුත් ........ කතාකරන්නෙ , පත්තිනි අම්ම වගේ. ජීවිතේටම , මුකුත් වෙලා නැහැ වගේ.
ඉතින් එහෙම ඉඳගෙන, වේස වැඩ කරනකොට, හරි නැහැනෙ. වේසිනම් වේසි වගේ ඉන්න ඕන. උපාසකය වගෙ ඉඳගෙන , රෑට රෑට ගෙවල් මංකොල්ල කනකොට කොහොමද? අන්න ඒ වගේ තමයි."
(මෑතදී ලංකාවේ එක්තරා කීර්තිමත් කාන්තාවක් පළමු නොවන විවාහය සිදු කරගැනීම පිළිබඳ පුවත පළ කරන ලද බ්ලොග් අඩවියක පාඨකයන් විසින් තබා තිබූ සටහන් 44ක් අතරින් එකක්.)

හොඳ රූපකායක් ඇති 'ලස්සන' ගැහැනියක හැඳින්වීම සඳහා අදත් අප සමාජයේ භාවිතා වන උපමාවක් වන්නේ 'එයා නිළියක වගේ' යන්නයි. නළුකමත්, රූප හෝභාවත් අතර ඍජු සම්බන්ධයක් නැත. එහෙත්, නිළියකට කීර්තිමත් තැනැත්තියක වීමේදී රූප ශෝභාව වැදගත් වේ. රූපාගාරයක අයිතිකරුවකු එහි ලයිට් බෝයි කෙනෙකුගේ දියණිය තාරකාවක් කරන්නට සිතන්නේ ඇගේ රූප‍ ශෝභාව නිසාය.

ආකාස කුසුම් චිතුපටයේ ලයිට් බෝයි කෙනෙකුගේ දියණියකට සන්ධ්‍යා රාණි නම් තාරකාව වීම සඳහා කැප කරන්නට සිදු වන්නේ අඩු වයසින් විවාපත් ඇගේ සැමියා හා දියණිය පමණක් නොවේ. අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සන්ධ්‍යා රාණිගේ, ඇගේ දියණියගේ හා චිත්‍රපටයේ සෙසු චරිතවල අතීතාවලෝකනයන් හරහා කටුසටහන් කරන ඒ අතීතය දරුවා මවගෙන් වෙන් කිරීම, සැමියා බිරිඳගෙන් වෙන් කිරීම, නිළිය ක්ෂේත්‍රයේ හා ඉන් එපිට බලවත් පුද්ගලයන්ගේ ලිංගික භාණ්ඩයක් වීම, විටෙක අලෙවි වන ඇය විටෙක සූරාකෑමට ලක් වීම, රූප හෝභාව වියැකී යන විට කාටත් ඇය අමතක වීම, තනිකඩ මහළු වියේ හුදකලාව වැනි ඛෙදයන් රැසකින් සමන්විතය.

ප්‍රසන්න ඒ අතීත කතාව දිගහරින්නේ සන්ධ්‍යා රාණි විසින් අතහැර දමන ලද, සන්ධ්‍යාරාණිගේ අතීත සෞභාග්‍යයේ ගොදුරක් බවට පත්ව සිටින ඇගේ දියණිය වන ප්‍රියා‍ගේ වර්තමානයේ සිදුවීම් හරහාය. තමන්ට ස්පර්ශ කළ නොහැකි දුරකින් තාරකාවක් වී බැබළෙන සිය වඩාත්ම ප්‍රිය පුද්ගලයාගේ වියෝව විඳවා බේබදුකමින් මිය යන පියා හා රාත්‍රී සමාජ ශාලා නාටිකාංගනාවක ලෙස සුචරිතවාදී සමාජය විසින් පාදඩ යයි අර්ථකථනය කරනු ලබන ජීවිතයක් ගත කර ඒඩ්ස් රෝගයෙන් මිය යන ප්‍රියා මෙම කතාවේ අවාසනාවන්තම ගොදුරු වේ. සන්ධ්‍යාරාණි සෞභාග්‍යවත් සමයේ මිළ දී ගත්තේ යයි සිතිය හැකි, දැන් නඩත්තු කර ගැනීම පවා දුෂ්කර පාළු නිවසක සුරතල් බළලකු සමඟ ජීවත් වීම සඳහා පැටිස් බදින්නීය. ඇය තරුණ වියේ පසු භාගයේ සිටින ටෙලි නාට්‍ය නිළියක වන ශාලිකා ඇතුළු සීමිත පිරිසකට කුලියට කාමර සපයන්නේ හුදෙක්ම මුදල් සොයා ගැනීමට නොව බහු පුරුෂ සේවනයේ සුන්දර ආස්වාදයේ අතීතකාමිනියකද විලසිනැයි සිතේ. සොඳුරු අතීතයෙන් ඉඳහිට හමා එන මිහිරි අතීතකාමී සුළං ඇගේ ජීවිතය රසවත් කරයි. ඇයට ඇගේ රසවත්තු හමු වෙති. වෙන අයකු නොපැමිණීම හේතුවෙන් හදිසි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක්ද ලැබේ. කසි කබල් මාලා නාටකයක චරිතයක්ද රඟපාන්නට ලැබේ. ඇගේ පැරණි පෙම්වත්තුද වන්නට ඇතැයි කතා කරන විලාසයෙන් සිතෙන පැරණි වෘත්තීය සගයෝ ඇය අමතති. ඉන් එකෙක් තමා දැන් සීයා කෙනෙකු බවද පවසයි. ඇය තනිකඩය.

ශාලිකා වසඟ කර ගන්නා කඩවසම්, ජනප්‍රිය නළුවෙක් ඇය සමග යහන් ගත වෙයි. එය අතට හසු වීම හේතුවෙන් නිළියගේ කලින් සහකරුවා ඇය හැර යයි. ඇය භුක්ති විඳ තෘප්තිමත්ව සිටින ඔහුටද ඇගේ දුරාචාරය අතට හසු විම ඇගෙන් වෙන් වීම සඳහා පෑදුණු මහඟු අවස්ථාවක් වැනිය. එහු පොලිස් ඉන්ස්පෙක්ටර්ට ස්තුති කරන්නේ එහෙයිනි. කඩවසම් නළුවාද ඉන් පසු ඇය මඟහැර යයි. ඇය තවත් පෙම්වතකු සමග හාද වෙයි. ඇයට දැන් අවශ්‍ය වන්නේ තැන්පත් කුටුම්භයකි. එහෙත් ඇගේ 'නරක චරිතය' ඇය පසුපස හඹා එයි. ඇය භුක්ති විඳි නළුවා ඇතුළු පිරිමින්ටද විවාහයට සුදුසු ගැහැනියක වන්නේ එවැනි 'දුරාචාරවලට' සම්බන්ධ නැති ස්ත්‍රීහුය. තමන් දැන් සිටින වයස අනුව තමන් විවාහ කර ගන්නා බව කියන පිරිමින් විශ්වාස කිරීම හැර අන් මඟක් තමන්ට නැති බව ශාලිකා කියයි. අද බඳින්නම්, හෙට බඳින්නම් කියා ඇය රවටන පිරිමියකුගේ පුකට පයින් ගසා පළා ඒමට ඇය අවසානයේදී තීරණය කරයි. ඇගේ ඉරණමද සන්ධ්‍යා රාණිගේ ඉරණම හා සම වීමට නියමිත විය හැකිය.

සන්ධ්‍යා රාණි අනෙකා කරගෙන ජීවිතය ගොඩනඟාගන්නා ප්‍රියාට සිය ජීවිතය දිගහැරෙන මාර්ගයේ අතරමඟදී සිය අනෙකා අහිමි වෙයි. දරු ප්‍රසූතියේදී මිය යන ඇගේ දරුවා හදා වඩා ගන්නට භාර ගන්නා සන්ධ්‍යා රාණි අවසානයේදී අසන්නේ ඒ මිණිබිරිය ඇයට සමාව දෙයිද කියායි. කුමක් සම්බන්ධයෙන්ද? කුටුම්භය හැර දමා නිදහස් ජීවිතයක් සොයා යාම පිළිබඳවද? ඇයට සිය නිදහස් ජීවිතයෙන් නොලැබුණ තෘප්තිය කුටුම්භ ජීවිතය තුළ සිටියා නම් ලැබෙන්නට තිබුණි යයි ඇය සිතන්නීද? විවාපත්ව දරුවන්ද වියපත්ව සිටින ඇගේ නැඟනියන්ට කුටුම්භය තුළින් තෘප්තිය ලැබි තිබේද? එසේ නැති වුණත්, අවසානයේදී සෑම ආසියාතික ගැහැනියක් සේම සන්ධ්‍යා රාණිද සිතන්නේ තමන් කළ යුතුව තිබුණේ සිය පවුලට, සැමියාට, දියණියට යුතුකම් ඉටු කිරීම බව කියා නොවේද? එසේ කළා නම් ඇයට තෘප්තිමත් විය හැකිව තිබිණිද? තමන් කැමති පිරිමියකු සමග ඇසුරු කරමින් ගත කළ අතීතය තුළින් ඇය ලැබූ සතුට හුදු සිහිනෙන් ගෑ සුවඳක් පමණක්ද?

ජීවිතය හැම විටම ගලා යන්නේ අඩුවක් සමගයි. ඒ අඩුව පිරවීම සඳහා කරන අරගලය ජීවිතයයි. එම අඩුව විසින් ඇති කරනු ලබන පසුතැවිල්ල ජීවිතයේ අනිවාර්ය ඛෙදයකි.

Comments

  1. lol puso etharam kal jeevath venavada? ehenam kalin ekage patiyek venda athi..

    ReplyDelete
  2. 'ජීවිතය හැම විටම ගලා යන්නේ අඩුවක් සමගයි. ඒ අඩුව පිරවීම සඳහා කරන අරගලය ජීවිතයයි. එම අඩුව විසින් ඇති කරනු ලබන පසුතැවිල්ල ජීවිතයේ අනිවාර්ය ඛෙදයකි...'
    watinaa adahasak...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා