සමාව දෙන්න පුළුවන් තරමේ වැරැද්දක් ඉතිරි වී ඇත්නම්, ඒක මුළු ලංකාවම නොදන්නා වැරැද්දක් විය යුතුයි.....ආකාස කුසුම්

ප්‍රදීප් ජයරත්න ( X කණ්ඩායම)  

"සමාව" ඕන කරන වැරැද්දක් හොයා ගන්න පුළුවන් නම්, "ජීවිතය" ආයෙත් පටන් ගන්න පුළුවන්. සමාව ලැඛෙනවද නැද්ද කියන එක එච්චරම වැදගත් නැහැ. උවමනා වෙන්නේ, සමාව දීම-නොදීම කියන සීමාවේ තියෙන, ඒ ගැන බලාපොරොත්තුවක් රඳවාගන්න පුළුවන් වැරැද්දක් විතරයි. එතන ඉඳන් වැරදි, නිවැරදි කරගැනීමේ මාර්ගය දිගේ අලූත් ගමනක් පටන් ගත්තම, ඒක ඇත්තටම ජීවිතයට අලූත් චලනයක් එකතු කරනවා.

ආකාස කුසුම: මාලිනීට එවැනි වැරැද්දක් චිත්‍රපටයේදී හමුවීම ලොකු අස්වැසිල්ලක් වුනා. ඉතිං එයා තමන්ගේ දුවගේ දුව තුරුළු කරගෙන ඉන්න ගමන්, පුංචි මාලිනීගෙන් (දිල්හානිගෙන්) අහනවා, "මෙයා මට සමාව දෙයිද?˜ කියලා. පුංචි මාලිනී, "ඔව්˜, "හ්ම්˜ වගේ සංඥා කරමින් හිස සොලවනවා. ඒත් පුංචි මාලිනී තාමත් ඉන්නේ සමාව දීම හෝ නොදීම කියන සීමාවට අයත් නැති තැනක. ඉතිං ඒ හරියෙන් වැරැද්දක් හොයා ගන්න එක ලේසි නෑ. ඒ හින්දම විඳීමේ ආරම්භයයි, විඳවීමේ ආරම්භයයි මුල ඉඳලම එකම තැනක.

පුදුමයකට වාගේ, සමාව දෙන-නොදෙන සීමාවට ඔබ්ඛෙන් තියෙන, සමහර විට තමන්ගේ ජීවිතයට සම්බන්ධයක් පවා නැති සියල්ල ගැන මුළු ලංකාවම දන්නවා. චිත්‍රපටයේ දෙබසකින් ඒක කිව්වොත්, මාලිනී බැඳපු නැති විත්තිය මුළු ලංකාවම දන්නවා. යන්තම් හරි ජීවිතය අතපත ගාන්න පුළුවන් වැරැද්දක් හමුවෙන්නෙ මුළු ලංකාවම නොදන්නා තැනක තිබිලා. රහස, රහස්‍යභාවය අහිමි කරන්න සමත් වෙන තරමේ ප්‍රසිද්ධියක් විසින් ජීවිතයත්, ඉතිරි සියල්ලත් අහිමි කරන්න සමත් වෙලා තියෙනවා. සමහර විට ඒකල අපි අපේ එදිනෙදා ජීවිතයේ හරි-වැරැද්දට හසු නොවන කලාපයක සැරිසරන්න දරන උත්සාහයට ගෙවන්න වෙන වන්දිය වෙන්නත් පුළුවන්.

මාලිනීට ජීවත් වෙන්න ඕන කරන බලාපොරොත්තුවක් ඉතිරි කරන්න, මුළු ලංකාවම නොදන්නා මනුස්සයෙකුට, මුළු ලංකාවටම නොදැනෙන්න තමන්ගේ ජීවිතය විනාශකරගන්න වෙලා. ඒ විතරක් නෙවෙයි, ඉතිරි කරපු "බලාපොරොත්තුව˜ මාලිනීට රැගෙන එන්න, බාර අරගෙන හිටපු පණිවිඩකාරියත් (messenger/ප්‍රියා), බලාපොරොත්තුව මාලිනීගේ අත තියලා තමන්ගෙ ජීවිතෙන් සමුගන්නවා. අහම්බයකින් වුනත් සමාව ඕන කලේ පණිවිඩකාරියගෙන්මයි. ඒත් ඒක, පණිවිඩකාරිය විසින් සමාව නොදෙන තරමේ වැරැද්දක්. ඒ හින්දම ඇය හැමවිටම උත්සාහ කරනවා, සමාව දීමෙන් වැලකී ඉන්න. නමුත් ඇය ඉරණම්කාරී ලෙස රාජකාරියක් පැවරුණු පණිවිඩකාරියක්. කෙතරම් වෙහෙසකාරී වුවත්, ඇයට තමන් මත පැවරුණු කාර්යය ඉටුනොකර ඉඳීමට නොහැකියි. මේ නිසා  "සිදුවිය යුතු අයුරින්ම˜ පණිවිඩකාරිය තමන්ගේ කාර්යය අවසන් කරන මොහොතේ, ඇයට සිද්ධ වෙනවා ඇගේ ජීවිතයෙන් සමුගන්න.

මෙතැන තියෙන තවත් කාරණයක් තමයි බලාපොරොත්තුවේ පණිවිඩය රැගෙන එන මාලිනීගේ දුව, පණිවිඩය මාලිනී අත තැබීමට පෙර, ඇය ඒ සඳහා තමන්ව සුදුසු තත්වයට පත්කරගැනීම. එනම්, එදිනෙදා ජීවිතයේ මිණුම් දඬු වලට හසුවන පරිදි ඇය කිළිටි විය යුතුයි. මෙවන් පණිවිඩයක් රැගෙන යාමට කිළිටි වූ ආත්මයක වුවමනාව, අදටත් බලි තොවිල් වලින් අඩුවක් නැති ලංකාවට පුදුමයක් විය නොහැකියි. ඒත් එම කිළිටි වූ ආත්මයට කිසිදු චකිතයකින් තොරව, හදවතින්ම ප්‍රතිචාර දැක්වීමට මාලිනී දක්වන සමත්කම මගින්, මාලිනී ගේ දුව වික්ෂිප්තභාවයට පත්කරනු ලබනවා. සැබවින්ම බලාපොරොත්තුවේ නොනිමෙනා පහන් සිළු නැවත ජීවිතයට එකතුකර ගැනීමට, මාලිනීට හැකියාව ලබා දෙන්නේත් ඒ ගුණයමයි. මුළු ලංකාවම නොදන්නා වැරැද්දකට මාලිනීට ඉඩ ලබා දෙන්නට ඇත්තේත් ඒ ගුණයමයි. මුළු ලංකාවම දන්නා සියල්ල ටිකින් ටික විනාශ වී යද්දීත්, මුළු ලංකාවම නොදන්නා සියල්ල ටිකින් ටික විනාශ වී යද්දීත්, මාලිනී ට ඉතිරි වී පවතින්නට ඉඩහසර දුන් ගුණයත් එයම විය හැකියි. කිළිටි වූ ආත්මයකට චකිතයකින් තොරව ආමන්ත්‍රණය කිරීමේ හැකියාව¦ ඒ හැකියාව සහිත ආත්මය...

මානුෂිකත්වය; අතිශයින් ගැඹුරු මෙන්ම එතරම්ම ලස්සන මානුෂික හැඟීම, පුපුරා යන්න සමත්වන තැන, එනම් බන්ටි, තම නිවසට පැමිණෙන මාලිනීව හරවා යැවීමෙන් පසු, ඇය හඬමින් ප්‍රියාව වැළඳගන්නා මොහොත¦ සමහර විට මේ සියලු ජීවිත ටික ටික එකතු කරගත් වෙහෙස, පීඩාව, අඳෝනාව පිට කරන්න, එහෙමත් නැත්නම් එකම තැනකට එකතු කරගෙන පුපුරවා හරින්න ලැබුණු එකම එක අවස්ථාව විය හැකියි. මාව චිත්‍රපටයට මුළුමනින් ඇතුලු කර ගැනීමට සමත් වූ අවස්ථාවත් එයයි.

චිත්‍රපටය සාමාන්‍යකරණය කළ එදිනෙදා ජීවිතයට රැගෙන යන්න එකතු කළ චරිතය, එනම් මාලිනී ගේ නංගී කෞෂල්‍යා, චිත්‍රපටය බරපතල අගතියක සිරකිරීමටත් හේතුවනවා. එහෙත්
fair and lovely වලින් සංකේතවත් වන ලෝකයක, ඇය විසින් බරපතල සත්‍යයක් පසක් කරනු ලබනවා.
 

"මාලිනී අක්කා ගෙදර ආවම, මම තමයි අම්මගෙන් හොඳටම බැණුම් අහන්නෙ. ඇයි ඉතින් මමනෙ ගෙදරින්ම කළු ළමයා.˜

කෞෂල්‍යාට චිත්‍රපටය තුල අමුතුවෙන් රඟපාන්න දෙයක් නෑ. සුපුරුදු පැරණි භූමිකාවක් නැවත නිරූපණය කිරීම හොඳටම ප්‍රමාණවත්. මෙතනින් තමයි ප්‍රසන්නගේ අධ්‍යක‍ෂක භූමිකාවේ මම අකමැති තැනකට ප්‍රවේශවෙන්න පුළුවන් වෙන්නෙ. තමන් පරිකල්පනය කල චරිතයට, ගැලපෙන බාහිර චරිතයක් චිත්‍රපටයට ආදේශ කර ගැනීම. ඉතිං කාටවත් අමුතුවෙන් රඟපාන්නට දෙයක් නෑ. ගිහිං ඉන්න විතරයි තියෙන්නෙ. ප්‍රසන්න මොකූත් කියන්නැතිව ඇති. සමහර විට ලංකාවෙදි මීට වඩා වැඩි දෙයක් කරන්න බැරුවත් ඇති. ඒත් උත්සාහයක්වත් නොගන්න එක කණගාටුවට කාරණයක්. නිම්මි, ප්‍රියාගේ චරිතයට තෝරා ගන්න එයා කථා කරන විදිහ ගොඩාක් බලපෑවා වෙන්න පුළුවන්. ප්‍රියා හැමවිටම කථා කරන්නේ, වෙරළු ඇටයක් කටේ දාගත්ත සුදර්මන් රදලියගොඩ කථා කරනවා වගේම තමයි. ඒක කේන්ති ගියාම, හැඟීම්බර වුනාම කථා කරන විදිහේ වෙනසක් වුණා නෙවෙයි. ඒ තමයි හැටි.

කෞෂල්‍යාගේ චරිතයෙන් එකතු කරන සත්‍යය සහ අගතිය ගැන ටිකක් වැඩිපුර කථා කරන්න ඕන නිසා මෙතනදී කථා නොකර ඉන්නම්. චිත්‍රපටයට ඉංග්‍රීසි ටෙලි නාට්‍ය මාලාවක් වන
Twenty four (24) වර්ගයේ ගුණයක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම කරුණු අනාවරණය කරන සමීප රූප කීපයක් මගින් තවත් ගුණයක් අත්පත් කරගෙන තියෙනවා. චිත්‍රපටය මේ දෙක අතර දෝලනයක් වගෙයි පෙනෙන්නේ.

ප්‍රසන්නගේ "පවුරු වලලූ˜ තාමත් අමතක කරන්න අමාරුයි. "ආකාස කුසුම්˜ මේ දැනුත් අමතක වෙමින් යනවා. සමහර විට බරපතල සත්‍යයක් කියන්න වෙන ආකෘතිය මේක වෙන්න ඇති. ඒත් චිත්‍රපටය, මට මොකුත් ඉතිරි නොකරන එක ප්‍රශ්නයක්.

සමහර විට මාලිනී පවා කල්පනා කරනවා ඇති ඒ රහසත් අනාවරණය කළාට පස්සේ ආයෙත් බලාපොරොත්තුවක් හොයා ගන්න පුළුවන් වෙයිද කියන එක ගැන. මවක් තමන්ගෙ දුව හොයාගෙන යද්දි, පියෙක් තමන්ගෙ දුවව හංගගෙන ඉන්නව නම්, ඒක ඛේදවාචකයක්. එතනදී මොන තරම් හේතු කාරණා ඉදිරිපත් කළත්, කාරණය තමයි පළිගැනීම. කියන්න වෙන  හේතු කාරණා මොන තරම් අහිංසක වුනත්, ඇත්තටම සිද්ධවෙන දේවල් එතරම් "අහිංසක˜ නෑ. යන්තම්, මාලිනීට එවැනි දෙයක් සිද්ධ වුනේ නෑ. ඒ හින්දම වෙන්න ඇති මට මේ චිත්‍රපටය විශාල දෙයක් අඟවන්නැත්තෙ. විශාල චිත්‍රපටයක් නොවන්නෙ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා