රාජපක්ෂ පාලනය උතුරේ මුදාගත් දෙමළ ජනයා අතර පරාදයි

(2009 අගෝස්තු 10 - W3Lanka) ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජයග්‍රහණය කෙතරම් සුවිසල් එකක් වුව ද එය කිසිවකු මවිත කිරීමට හේතු වුවක් බව නොපෙනේ. ජනාධිපතිවරයා සහ මැති ඇමති රොත්තක්ම, රාජ්‍ය මාධ්‍ය ඇතුලු මහජන දේපල අසීමිත අන්දමින් උපයෝගී කරගෙන කරනු ලබන 'ප්‍රජාතන්ත්‍රවාදී' මැතිවරණ ව්‍යාපාරවලින් ඇත්ත වශයෙන් ම කරනු ලබන්නේ ජනතා කැමැත්ත මහදවල් මංකොල්ලකෑමකි. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වූයේ නම් එයින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වේ යයි මෙමගින් අදහස් නොකෙරේ. දකුණේ මැතිවරණ දිනීමට අවශ්‍ය ජනප්‍රියත්වය රාජපක්ෂ රෙජිමයට ඔනෑවටත් වඩා තිබේ. එහෙත්, රජයට අවශ්‍ය ජයග්‍රහණ නොව, විරුද්ධවාදීන්ගේ අන්ත පරාජයන් ය.


පළාත් පාලන ඡන්දයක් ඓතිහාසික එකක් වීමට යෝග්‍ය නොවුණත්, යාපනය මහ නගර සභාවට හා වවුනියාව නගර සභාවට පවත්වන ලද ඡන්දය එවැන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක අද The Island පුවත්පතට ලිපියක් ලියමින් පවසයි. එසේ වන්නේ මෙම මැතිවරණ වනාහි තිස් වසරක බෙදුම්වාදී යුද්ධය කැරැලිකරුවන්ට පරාජය ගෙන දෙමින් අවසන් වීමෙන් පසු දෙමළ දේශපාලන ජීවිතයේ මධ්‍යස්ථානවල පවත්වන ප්‍රථම මැතිවරණය මෙය වීම බව ඔහු කියයි.


සත්තකින්ම, රටේ දේශපාලන චලනය අතින් ගත් කල වැඩි ජාතික වැදගත්කමක් ඇත්තේ ඌවේ මැතිවරණයෙහි නොව උතුරේ පළාත් පාලන ආයතනවල ඡන්දයෙහි ය. යාපනයේදී හා වවුනියාවේදීත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ ව්‍යාපාරය දියත් කළේ ඌවේදී කළ 'ප්‍රජාතන්ත්‍රවාදී' ආකාරයටමයි. රාජ්‍ය බලය යොදවා විරුද්ධවාදීන් දේශපාලනික වශයෙන් මර්දනය කිරීම රට පුරා ම එක ලෙස පවතින අතර, උතුරේදී මෙයට මිලිටරි පීඩනයක් ද එකතු වේ. 


එක්සත් ජනතා නිදහස් සන්ධානය වවුනියාවේදී ලද අන්ත පරාජය පිළිබඳ අදහස් දක්වමින් ඇමති ඩග්ලස් දේවානන්ද The Island පුවත්පතට පවසන්නේ තමන් කොටින්ගෙන් මුදාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ස්තුති පූර්වක නොවෙමින් තමන් කාලකන්නිභාවයට ඇද දැමීම පිළිබඳව පාර්ශ්විකව වගකිවයුතු දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනයා ඡන්දය දීම පිළිබදව තමන් පුදුම වන බවයි. 


ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා‍ගේ නායකත්වයෙන් යුතු ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යාපනය මහනගර සභාවට තනිව තරග කිරීමට මුලින් අදහස් කළමුත් පසුව ආණ්ඩුවේ බලපෑම මත එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීමට එයට සිදු විය. ඡන්දයට දින කීපයකට පෙර යාපනයේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති සංගීත ප්‍රසංගයකට ලක්ෂයකට අධික පිරිස් පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත් අගෝස්තු 08දා ඡන්දය දීමට පැමිණියේ 22,280ක් හෙවත් 22%ක් පමණ ප්‍රතිශතයකි. එයිනුත් ආණ්ඩුවට ඡන්දය දුන්නේ 10,602ක් හෙවත් දෙකෙන් පංගුවකට අඩු ප්‍රමාණයකි. 

දෙමළ ජනයාගේ විපතට ‍පාර්ශ්විකව වගකිව යුතු යයි රජය හඳුන්වන දෙමළ ජාතික සන්ධානය යාපනයේදී ඡන්ද 8008ක් ලබාගෙන දෙවන තැනට පත් වෙද්දී වවුනියාවේදී ඔවුහු විශිෂ්ඨ ජයක් වාර්තා කළහ. ප්ලොට් සංවිධානය දෙවන තැනට පත් වූ අතර සන්ධානය තුනට වැටිණි. 

මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ එක් එක් පුද්ගලයන්ට තම තමන්ගේ දේශපාලනික න්‍යාය පත්‍රානුකූලව විග්‍රහ ඉදිරිපත් කළ හැකිය. එහෙත්, එක දෙයක් පමණක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එනම්, ත්‍රස්තවාදයෙන් දෙමළ ජනයා මුදාගත් බව කියන රජය ඉන් පසුවත් උතුරේ දෙමළ ජනයා අතර පරාජය වී ඇති බවයි. එසේම, යුදමය වශයෙන් පරාජය කරන ලද කොටි සංවිධානයේ බළල් අතකැයි කී දෙමළ ජාතික සන්ධානය කොටින්ගෙන් තොර පසුබිමක පවා තවමත් බලවත් බවයි.


දෙමළ ජාතික සන්ධානයෙන්, ප්ලොට් සංවිධානයෙන්, යාපනය මහනගර සභාවට තේරී පත් වූ ආනන්ද සංගරීගෙන් පමණක් නොව යාපනයේ ජයග්‍රහණය සන්ධානයට ලබා දුන් ඊ.පී.ඩී.පීයෙන්වත් ප්‍රකාශ වන්නේ රාජපක්ෂ ආණ්ඩුව බලාපොරොත්තු වන දෙය නොවේ. 

මෙම මැතිවරණය විසින් ඉන්දියාවට දෙන සංඥාව ලංකාවේ දේශපාලන අනාගතය විෂයෙහි වැදගත් සාධකයක් වනු ඇත.

Comments

  1. ithi UNP ekata 1k wath nathi eka gana kiyanne nadda ?

    ReplyDelete
  2. සන්ධාන ජයග්‍රහණය කෙතරම් සුවිසල් එකක් වුව ද එය කිසිවකු මවිත කිරීමට හේතු වුවක් බව නොපෙනේ. mokatada puduma wenne.meka kawuruth dangena hitiye...me mahathwaru hari kanagatuwen liyana bawa nam theenawa..me dinuma gaena.
    topics baluwama theerenawa oyalage dharshane nam.

    ReplyDelete
  3. පළවෙනි චේදයෙන් කියලා තියෙන්නේ නම් සම්පුර්ණ ඇත්ත. පිල්ලෙයාන්ට නැගෙනහිර චන්දෙදි මිනීමරන්න දීලා බලන් හිටපු රජය ගැන, දෙමළ මිනිස්සුන්ට පැහිදීමක් නෑ.මොනවා උනත් විරුදධ පක්ශ මැරකම් වලින් මර්දනය කරලා, ඒවා මාධ්ය මර්දනය මගින් මිනිස්සුන්ගෙන් හංගලා, රාජ්ය බලය සම්පුර්නයෙන් තම පක්ශ ප්‍රචාරන වලට යොදවලා( SLT TELECOM ජාලය පවා මිනිසුන්ට හිරිහැර වෙන විදියට චන්ද ප්‍රචරනයට යොදවනවා) චන්ද දිනන්න රජය හොදට දන්නවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා