යෝජිත බෝගහපට්ටිය අභය භූමිය හා සොරගුනේ අනාරක්ෂිත වනාන්තර හරහා ගොඩනැගෙන උඩවලව අලි - ඇතුන්ගේ ශෝකාලාපය

සජීව චාමිකර
ශ්‍රී ලංකා සොබා සංසදය

උඩවලව ජාතික වනෝද්‍යානය හා ඒ ආශ‍්‍රිත වනාන්තර පද්ධතිය අලි - ඇතුන්ගේ නිජබිමක් ලෙස අලි - මිනිස් ගැටුමකින් තොර කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමේ හැකියාව පවතී. නමුත් දේශපාලන බලපෑම, නිලධාරීවාදය හා රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම යන කරුණු හේතුවෙන් අලි - මිනිස් ගැටුම මෙම ප‍්‍රදේශයේ වරින් වර උග‍්‍ර වෙමින් පවතී.

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට නැගෙනහිර දෙසට වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය හරහා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයටත් එතැන් සිට යාල වන සංකීර්ණයටත් අලි - ඇතුන් සංක‍්‍රමණය වේ. නමුත් වැටහිරකන්ද ස්වභාව රක්ෂිතයේ අනවසර හේන් වගාව හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය දෙසට අලි - ඇතුන්ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගයට බාධා එල්ල වී තිබේ.


උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට උතුරු දෙසට අලි - ඇතුන්ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගය පිහිටා ඇත්තේ දහයියාගල අභය භූමිය හරහා යෝජිත බෝගහපිටිය අභය භූමිය දෙසටත් එතැන් සිට සොරගුණේ කැලය හා රජවක වනාන්තර ප‍්‍රදේශ වලටත්ය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ අග භාගයේ දී උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බෝගහපට්ටිය දෙසට අලි - ඇතුන් සංක‍්‍රමණය වන දහයියාගල අභය භූමිය හරහා විදුලි වැටක් ඉදිකර අලි - ඇතුන් සංක‍්‍රමණය වන සාම්ප‍්‍රදායික අලි මංකඩ වසා දැමීමට පියවර ගත්හ. නමුත් පරිසර සංවිධාන එක් ව ගත් ක‍්‍රියාමාර්ග වල ප‍්‍රතිඵලයක් ලෙස මෙය තාවකාලිකව නවතා දැමීමට හැකි විය.


නමුත් අද වන විට ද බෝගහපට්ටිය අභය භූමිය යෝජිත තත්ත්වයේ පවතින අතර සොරගුණේ කැළය වන පාළුවන්ගේ රජදහනක්ව පවතී. මේ තත්ත්වය අලි - මිනිස් ගැටුම වර්ධනයටත් ඒ ආශ‍්‍රිත අලි - ඇතුන්ගේ පැවැත්මටත් ප‍්‍රබල තර්ජනයක් වී තිබේ.
 

බෝගහපට්ටිය යෝජිත අභය භූමිය උඩවලව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි දහයියාගල අභය භූමිය (උඩවලව - බෝගහපට්ටිය සාම්ප‍්‍රදායික අලිමංකඩ) හා සම්බන්ධව පිහිටා තිබේ. උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින අලි - ඇතුන් දහයියාගල අභය භූමිය හරහා බෝගහපට්ටිය වනාන්තර ප‍්‍රදේශයට සංක‍්‍රමණය වීම සිදු වන අතර දහයියාගල හා බෝගහපට්ටිය ප‍්‍රදේශයේ අලි - ඇතුන් විශාල ප‍්‍රමාණයක් ජීවත් වේ. බෝගහපට්ටිය යෝජිත අභය භූමිය තුළ අලින්ගේ ලවණ අවශ්‍යතාවය සඳහා වැදගත් වන කරමැටිය නම් ලවණ නිධිය පිහිටා තිබේ. මෙම ප‍්‍රදේශයට දහයියාගල අලිමංකඩ (උඩවළව - බෝගහපට්ටිය සාම්ප‍්‍රදායික අලිමංකඩ) හරහා අලි - ඇතුන් සංක‍්‍රමණය වන්නේ මෙම ලවණ නිධියේ ලවණ ලබා ගැනීම සඳහා ය.

යෝජිත බෝගහපිටිය අභය භූමිය සබරගමුව හා ඌව පළාත් දෙකට අයත් රත්නපුර, බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්ක තුනෙහි බලංගොඩ, ඉඹුල්පේ, හල්දුම්මුල්ල හා තණමල්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 හි ග‍්‍රාම නිලධාරි වසම් 28 ක් පුරා ව්‍යාප්තව තිබේ. මෙහි භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 200 ක් පමණ වේ.


යෝජිත අභය භූමිය හරහා වලවේ ගඟ, කුඩා ඔය, කාල්කන්නි ඔය, වේලි ඔය, කොස්ගම් ඔය, මුල්ගම් ඔය, දියබෙත්ම ඔය වැනි ගංඟා සහ ඔයවල් වලට අමතරව මව් ආර, තඹගහ ආර, නෙලූ ආර, වෙලන්විට ආර, බෝගහපට්ටිය ආර, ගල්ලෑලිතොට ආර වැනි ඍතුමය දිය දහරාවන් ගණනාවක් වෙති. යෝජිත අභය භූමියේ සමනල වැව ජලාශය, මුල්ගම වැව, ඉද්දගල වැව, වෙල්විට වැව, මහනෙටුල වැව, දිවුලාන වැව, සිරිපුර වැව, කිවුලෙ වැව යන ජලාශ හා වැව් පිහිටා තිබේ. මීට අමතරව දූවිලි ඇල්ල , දියවිනි ඇල්ල හා ප‍්‍රියන්ගිරි ඇල්ල ද මෙම යෝජිත අභය භූමියට ඇතුළත් වේ.


යෝජිත අභය භූමි ප‍්‍රදේශය වැව් හා ජලාශ ගණනාවක ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් වෙති. උඩවලව ජලාශය, ලූණුගම්වෙහෙර ජලාශය හා මව්ආර ජලාශය ඉන් ප‍්‍රධාන වේ. යෝජිත අභය භූමිය ආශ‍්‍රිතව ග‍්‍රාම නිලධාරී වසම් 35 ක පමණ අලි - මිනිස් ගැටුම පවතී. බෝගහපට්ටිය අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි වනු ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
ප‍්‍රාදේශීය නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කර මෙම වනාන්තර ප‍්‍රදේශය බෝගහපට්ටිය අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට සැළසුම් සකස් කර තිබේ. නමුත් වර්තමාන වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙම වනාන්තර ප‍්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමට මූලික සැළසුම් සකස් කර තිබේ. 


එම වනාන්තර ප‍්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර රක්ෂිතයක් ලෙස හෝ සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කළහොත් රජයට අයත් වනාන්තර ප‍්‍රදේශයට පමණක් ආරක්ෂාව හිමි වේ. නමුත් යෝජිත බෝගහපට්ටිය අභය භූමිය තුළ රජයට අයත් මෙන්ම පෞද්ගලික භුක්තියට අයත් වනාන්තර ප‍්‍රදේශ පවතී. එබැවින් අභය භූමියක් ලෙස වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප‍්‍රකාශයට පත් කිරීමෙන් වැඩි රැකවරණයක් වනාන්තර පද්ධතියට හිමි වේ. නමුත් එවන් දූරදර්ශී දැක්මක් නොමැතිකමින් වත්මන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බෝගහපට්ටිය වනාන්තර ප‍්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට සූදානම් වීම ඉතාම හානිකර තත්ත්වයකි. එමෙන්ම බෝගහපට්ටිය - උඩවලව සාම්ප‍්‍රදායික අලි මංකඩ කළමනාකරණය කිරීමේ දී ද මෙසේ දෙපාර්තමේන්තු දෙකකට අයත් වනාන්තර ඉඩම් පැවතීම ගැටළු සහිත විය හැකිය.

සොරගුණේ වනාන්තරය යනු බෝගහපට්ටිය වනාන්තරය හා සම්බන්ධව පිහිටි අක්කර 12000 ක් පමණ වන සොරගුණේ දේවාලයට අයත් නින්දගම් ඉඩමකි. යෝජිත බෝගහපට්ටිය අභය භූමියට මෙම නින්දගම් ඉඩම ඇතුළත් වේ. මෙම වනාන්තරය කාල්කන්නි වනාන්තරය ලෙස ද හැඳින්වේ. වේලි ඔයේ සහ කාල්කන්නි ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ වන්නේ සොරගුණේ වනාන්තරයයි. වේලි ඔය හරස් කර ලබා ගන්නා ජලයෙන් ක‍්‍රියාත්මක වන වේලි ඔය වාරි ව්‍යාපාරයේ පැවැත්ම රඳාපවතින්නේ ද සොරගුණේ වනාන්තර ප‍්‍රදේශයේ සුරක්ෂිතතාවය මතය. වේලි ඔය ව්‍යාපාරයේ ජලය දහයියාගල, මහ නෙටුල, කුඩා නෙටුල, බෝගස් වැව, හම්බෙගමුව, පොකුණුතැන්න, දිවුලාන ප‍්‍රදේශවල පිහිටි වැව් 12 කට පමණ ජලය ලබා දේ.


සොරගුණේ වනාන්තරය රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි රජවක යෝජිත රක්ෂිතය, බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් වෙලන්විට යෝජිත රක්ෂිතය හා කොස්ගම යෝජිත රක්ෂිතය හා සම්බන්ධව පවතී. මීට අමතරව මෙම වනාන්තරය වලවේ ගඟ දක්වා ම ව්‍යාප්තව ඇත. මේ නිසා මෙය වලවේ ග‍ඟේ ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ද ක‍්‍රියාත්මක වේ. 


මෙම වන්නාන්තර ප‍්‍රදේශය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ‍්‍රිත වනාන්තර සහ සැවානා තෘණ බිම්වලින් සමන්විත ය. මෙහි ඌව ප‍්‍රදේශයට ආවේණික ඌව මැන්දෝරා ශාකයේ සිට කොන්, මී, කුඹුක්, මිල්ල, බුරුත, වෙලං, මාදං, අරළු,  බුළු, නෙල්ලි වැනි ශාක දැක ගත හැකිය. මෙම වනාන්තර ප‍්‍රදේශයට ප‍්‍රධාන තර්ජන ගණනාවක් පවතී. සොරගුණේ දේවාලයට අයත් මෙම විශාල නින්දගම් ඉඩමේ වනාන්තර කොටස් කුට්ටි කර සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේ විසින් අගනුවර ආශ‍්‍රිත ව්‍යාපාරිකයින් හා රජයේ ප‍්‍රධාන පෙළේ නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයින්ට විකිණීම සිදු කරති. එසේ ලබා ගන්නා වනාන්තර ඉඩම් එළි පෙහෙළි කර රබර්, ගම්මිරිස් වැනි විවිධ වගාවන් සිදු කිරීම හා මැණික් ගැරීම ආදී විවිධ ක‍්‍රියාවන් සිදු කරති. මැණික්
ගැරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම වනාන්තරයේ ඉඩම් ලබාගෙන ඇත. 


මෙසේ ඉඩම් පැවරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අවසරය ලබාගත යුතු වුව ද එවන් කිසිඳු අවසරයකින් තොරව මෙම නින්දගම් ඉඩමෙහි වනාන්තර බිම් විශාල ප‍්‍රමාණයක් විවිධ ව්‍යාපාරිකයින්ට හා රජයේ නිලධාරීන්ට පැවරීම සිදු කර ඇත.  මීට අමතරව මෙම වනාන්තර ප‍්‍රදේශයේ ඇති තවත් ස්වාභාවික සම්පතක් වන පෙල්ස්පා, කැල්සයිට්, ඩොලමයිට්, තිරුවානා වැනි ඛණිජ වර්ග කැණීම ද සිදු කරති. මැණික් කැණීම් හේතුවෙන් ද මෙම වනාන්තරයේ ඉතා විශාල ප‍්‍රමාණයක් මේ වන විට විනාශයට ලක්ව තිබේ. මී, කොන්, වෙලන් වැනි ශාක වනාන්තරය තුළ ම විශාල වශයෙන් ඉරා කුට්ටි කර ප‍්‍රවාහනය කිරීම සිදු වේ. 

හල්දුමුල්ල ප‍්‍රදේශයේ සිට පතහගම හරහා මෙම වනාන්තරය තුළට අළුතින් මාර්ගයක් සකස් කර දැව ප‍්‍රවාහන කටයුතු සිදු කිරීමට දැනට සූදානමක් පවතී. හල්දුමුල්ල ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම කටයුතු සිදු කිරීමට ක‍්‍රියාමාර්ග ගනිමින් සිටිති. මෙම ඉඩම්වල දැව හෙලීම් සඳහා පළමුව අවසර ලබා දීම් සිදු කෙරුණේ බෞද්ධ කටයුතු අමාත්‍යංශය හරහාය. නමුත් අද වන විට දැව හෙලීම සඳහා අවසර ලබා දීම ප‍්‍රාදේශීය ලේකම් විසින් සිදු කරති. මේ හේතුවෙන් ප‍්‍රශ්නය තවත් උග‍්‍ර අතට පත්ව තිබේ. සොරගුණේ දේවාලයට අයත් අක්කර 12000 ක් වන නින්දගම් වනාන්තරයේ ඉඩම් වරින් වර විශාල වශයෙන් එළි පෙහෙළි කිරීම හේතුවෙන් මේ ආශ‍්‍රිතව වනාන්තර පද්ධතියක් ලෙස අලි - ඇතුන්ට ලබා දුන් ආරක්ෂාව අද වන විට වැනසී යමින් පවතී. මේ හේතුවෙන් නෙළුයාය, රජවක, තැන්න, පැරකුම් යාය, කල්තොට, ඉළුක්පැළැස්ස ආදී ප‍්‍රදේශවල ගම්මානවලට අලි තර්ජන දැඩි ලෙස උද්ගත වෙමින් පවතී.

මෙම සමස්ත ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ආරක්ෂිත වනාන්තර පද්ධතියක් ගොඩනැගීම හා ඒ සඳහා නිවැරදි ඒකාබද්ධ සැලසුමක් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ යුතුය. එමගින් සමනල වැව ජලාශයේ සිට බදුලූදෙන, වේලිඔය, කල්තොට, සොරගුණේ, මහලන්ද, සිරිපුර වැව දක්වා සමස්ත ප‍්‍රදේශය දහයියාගල අභය භූමියට සම්බන්ධ කළ හැකිය. එතැන් සිට උඩවලව ජාතික වනෝද්‍යානයටත්, වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය හරහා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයටත් එහි සිට යාල වන සංකීර්ණය දක්වාත් අලි ඇතුන්ගේ වාසස්ථාන සහ සාම්ප‍්‍රදායික සංක‍්‍රමණික මාර්ග සංරක්ෂණය කළ හැකි අතර වනාන්තර පද්ධතියක් ලෙස මෙම ආරක්ෂිත ප‍්‍රදේශ ජාලය වනජීවීන් වෙනුවෙන් සුරක්ෂිත කළ හැකි වනු ඇත.


ඒ සඳහා විධිමත් සැළසුමක් සකස්නොකර වනජීවී සංරක්ෂණය හෝ කළමනාකරණය පිළිබඳව නොදන්නා ජගත් පුෂ්පකුමාර මහතා වැනි මෙම ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලඥයින්ගේ වුවමනා එපාකම් මත මෙම ප‍්‍රදේශය සංවර්ධනය කිරීමට යොමු වීම ඉතාම හානි කරය. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පක්ෂග‍්‍රාහී භාවය මත මෙම වනාන්තරවලට නිසි රැකවරණයක් ලබා නොදී එම වනාන්තර බිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට යාම ඉතා අනතුරු දායකය. මේ සඳහා ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ගය නම් යෝජිත බෝගහපට්ටිය අභය භූමිය, ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම මිස එය වන සංරක්ෂණ දෙපාරතමේන්තුව යටතේ පාලනය වන කුඩා වනාන්තර කොටස් බවට පත් කිරීම නොවනු ඇත.

Comments

  1. It's important document and publish in other medias too.but don't mention the names of politicians first,make public awareness first,then open the connections of politikkos.
    I admire your themes 40%.This is the best in my view.
    Buthpitiya.S.D

    ReplyDelete
  2. බොහෝ තත්ව ආවරනය කරන සාරවත් ලිපියකි. ලිපියෙන් මතු කරන දේ පිලිබදව අවධානය යොමු කිරීමක් සිදු විය යුතු වේ. මේ කාරනය දිනාගැනීම සදහා සංචාරක කර්මාන්තයේ හා අධ්‍යයන කර්මාන්තයේ නියැලිී සිටින (අතීතයේදී ලංකාවේ පරිසරය ගැන කෑගසූ, ඒ කෑගැසීම නිසාම බොහෝ දේ පුද්ගලිකව හිමි කරගත් ) පිරිස් එකතු විය යුතු වේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා