බටලන්ද නඩුව ගැන අසා කවුරුවත් බය වෙන්න එපා; බලාපොරොත්තු ඇති කර ගන්නත් එපා

(2009 අගෝස්තු 27 - W3Lanka)  (ඡායාරූපයේ ඇත්තේ ජවිපෙ බත්තරමුල්ලේ අලුතෙන් හැදූ කාර්යාල ගොඩනැඟිල්ලයි. 1989දී මිය ගිය අහිංසකයන් වෙනුවෙන් ඉදි කරන ලද අහිංසකයන්ගේ ආරාමය නම් ස්මාරකය බත්තරමුල්ලේ ම තවත් තැනත අත්හැර දමා තිබේ.)

නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතු ය. උසස් වීම් සහ විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙමින් නීතියේ කඩතුරාවට, නිල ඇඳුමට මුවා වී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැක. අද ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකි හෙයින් අප සියලු දෙනාම නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතු ය. 

මෙසේ පවසන්නේ සාහිත්‍ය විචාරකයකු හා ලේඛකයකු ලෙස ද ප්‍රකට ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා ය. ඔහු එසේ පැවසුවේ 1987 – 89 මහා භීෂණ සමයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු පැහැර ගෙන ගොස් බටලන්ද වධකාගාරයේ අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවෙන් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකුට ඊයේ (26) සිට බරපතල වැඩ සහිත වසර පහ බැගින් සිරදඬුවම් නියම කරමිනි. 


දෙල්ගොඩ කඳුබොඩ අඹසෙවන නිවසේ පදිංචිව සිටි උදය චන්ද්‍ර ලියනගේ හා රතනචන්ද්‍ර ලියනගේ යන සොහොයුරන් දෙදෙනා 1989 ජූලි 07 දින පැහැරගෙන ගොස් මරා දැමීම මෙම නඩුවට විෂය විය.
රතනචන්ද්‍ර ලියනගේ පසුව මරා දමා තිබුණ අතර බේරි ආ උදයචන්ද්‍ර ලියනගේ නඩු විභාගයේ දී සාක්කි දුන්නේ ය. මෙම තරුණයින්ගේ පැහැරගෙන යාම පිළිබඳ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සමක් සළකා බලා කළ නියෝගයක් මත සිදුකළ පරීක්ෂණය අවසානයේ නීතිපතිවරයා මේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවැරී ය.නඩු විභාගය අවසන් වන විට,  මුලින් හබයාස් කෝපුස් පෙත්සම ඉදිරිපත් කළ වින්දිතයාගේ පියා මිය ගොස් තිබිණි.

බටලන්ද වධකාගාරය සමග විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නම ඈඳී තිබීම මෙම පරීක්ෂණය මෙතරම් දුර දිග යන්නට එක ම හේතුවයි.



ජවිපෙ විසින් නායකත්වය දෙන ලද කැරැල්ලට සම්බන්ධ යයි චෝදනා කරමින් දස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් මේ අන්දමින් වධයට හා ඝාතනයට ලක් කරන ලද මුත්, වැරදිකරුවන්ට දඬුවම් සහ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ වීමක් පිළිබඳ අසන්නට ලැබුණේ ඉතා කලාතුරකිනි. 

මෙවැනි නීති විරෝධී මිනිස් ඝාතන ලංකාවේ සාමාන්‍ය තත්වයකි. ඒවා කරන හා කරවන අය සාන්ත දාන්ත තීන්ත කූඩු සේ පෝයට සිල් ද ගෙන දෙවියන්ට බුදුන්ට හොරෙන් නිවන් ද යන්නට ප්‍රාර්ථනා කරති. 


මෙම සිද්ධිය හුදු අහම්බයක් මිස කාටවත් අනතුරු සංඥාවක් වන දෙයකැයි සිතීම මුළාවකි. මේවා කරවන අය සිරගත කරන්නට කටයුතු කළොත් ලංකා‍වට සිරගෙවල් මදි වී සියලු පොලීසි, හමුදා කඳවුරු පමණක් නොව පාර්ලිමේන්තුව හා පළාත් සභා පවා සිර ගෙවල් බවට පත් කරන්නට සිදු වනු ඇත.

අඩු තරමේ මෙසේ මිය ගිය තරුණයන්ගේ රුධිර ඉතිහාසයෙන් ජීවිත ගොඩනඟාගෙන සිටින ජවිපෙවත් මේ සිද්ධිය මහ ලොකු දෙයක් ලෙස ගණන් ගන්නේ නැත. 

Comments

  1. ඔව්... ඒ හැම දෙනාටම හැම දෙයක්ම අමතකයි.. ඒ අමතකවීම දේශපාලනිකයි. විද්‍යාත්මකයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා