සංස්කෘතික පොලිසියට එරෙහිව මාධ්‍ය (ඇමතිගේ) නිදහස හෙවත් පියාට එරෙහිව ප්‍රියා



(අගෝස්තු 15, 2009 - W3Lanka) ඇල් වතුරත් නිවා බීමට පරිස්සම් වන තොරතුරු හා මාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එම තනතුරින් දොට්ට දැමීම සඳහා ව්‍යාපාරයක් නව සංස්කෘතික ඇමති පියසිරි විජේනායක ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ.


රජයේ කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා කැබිනට්‌ තීරණ දැනුම් දීමට අමතරව කැබිනට්‌ මණ්‌ඩලය විසින් ඉදිරිපත් නොකළ පෞද්ගලික මත දැක්‌වීම තුළින් කැබිනට්‌ ප්‍රකාශකගේ වගකීම පැහැර හැර ඇති බව ද, එමගින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාටත්. සංස්‌කෘතික කටයුතු අමාත්‍යවරයා වන තමා හටත් කළ නියමයන් හෑල්ලුවට ලක්‌කර ඇති බව ද සංස්කෘතික ඇමති පියසිරි විජේනායක පවසයි. මේ අනුව හැඟෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා තවදුරටත් කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව යැයි ඔහු වැඩිදුරටත් කියයි.


තමාගේ විෂය පථයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට තමා කිසිදු අමාත්‍යවරයකුට ඉඩ නොදෙන බවත්. රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කරන චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්, රැඟුම් පාලක මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගෙන ප්‍රදර්ශනය කිරීම සඳහා පනත් ගෙන ඒම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විරුද්ධ බවත් කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට්‌ ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා පවසා තිබිණි.


ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීම ජනමාධ්‍ය අමාත්‍යවරයාට පැවරී ඇති විෂය කටයුත්තක්‌ බව සැබෑ මුත් මෙරට සංස්‌කෘතියට පටහැනි සදාචාර සම්පන්න නොවන විශේෂයෙන් ළමා මනස විකෘති කරවන දෑ සමාජගත වීම වැළැක්‌වීම සංස්‌කෘතික අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමක් බව ද සංස්‌කෘතික අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ එම වගකීම අනුව බව ද පියසිරි විජේනායක ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


මීට ටික කලකට ඉහතදී අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ඉවත් කර තොරතුරු හා ජනමාධය අමාත්‍යාශය ජනාධිපතිවරයා යටතට පත් කරන ලදී. එහෙත්, පසුව එම අමාත්‍යංශය යළි අනුර යාපා ඇමතිවරයාට ම ලබා දෙන ලදී.


පියසිරි විජේනායක ඇමතිවරයා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායකයා වන විමල් වීරවංශ මෙම අමාත්‍යංශයට කැමැත්තක් දක්වන බව දැනගන්නට ඇත. හිටපු ජනමාධ්‍යවේදියකු හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම් වන වීරවංශ දැන් ජනාධිපතිගේ සමීපතමයන් අතරින් එක් අයෙකි.

Comments

  1. පියසිරි , කෙලියා නේද යාපට

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා