පාවා දුන්නාද? අත්අඩංගුවට ගත්තාද? පැහැර ගත්තාද? කේ.පී. අල්ලාගැනීමේ ඇත්ත කතාව

(අගෝස්තු 09, 2009 - W3Lanka) ජාත්‍යන්තර මෙහෙයුමකින් එල්.ටී.ටී.ඊ. නව නායක කේ.පී. අල්ලාගැනීම හා ප්‍රශ්න කිරීම සඳහා වහා ශ්‍රී ලංකාවට රැගෙන ඒම ශ්‍රී ලංකා රජයේ දැවැන්ත යුද ජයග්‍රහණයක් බව යුද විශ්ලේෂකයෝ පවසති. ‍මෙහිදී ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික නීතිමය බාධක ජයගැනීමට ලංකාවට හැකි වීම විශේෂ තත්වයකි.



මැලේසියාවේ ක්වාලාලම්පූර්හි ෆස්ට් ටියුන් හෝටලයේදී අගෝස්තු 05දා පස්වරු 2ට පමණ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමග කතා කරමින් සිටින අතරතුර දුරකථන ඇමතුමක් ලැබී එයට පිළිතුරු දෙමින් අසල කොරිඩෝරයක සිටියදී අල්ලා ගන්නා ලද කේ.පී. ලංකා‍වට ගෙන ඒමට පෙර තායිලන්තයේ බැංකොක් වෙත ගෙන යන ලදී. කේ.පී. අත්අඩංගුවට ගන්නා ලද බවට ප්‍රථම වරට නිවේදනය කළේ තායි රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවයි.


අගෝස්තු 06දා ලංකාවට ගෙන එන ලද කේ.පී. හා ඔහුගේ රියැදුරු අප්පු හෙළිදරව් නොකරන ලද ස්ථානයක රඳවාගෙන ප්‍රශ්න කරනු ලබමින් සිටියි. 


සාපරාධී කුමන්ත්‍රණ, නීති විරෝධී අවි ගනුදෙනු, ඉන්දීය ත්‍රස්ත පනත හා පුපුරන ද්‍රව්‍ය පනත උල්ලංඝනය කිරීම හා රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව තායි රජය පැවසීය. රජීව් ගාන්ධි ඝාතකයන්ට අවශ්‍ය අවි සහ පුපුරන ද්‍රව්‍ය සැපයීමේදී කේ.පී. දායකත්වය සපයා තිබේ.


2007 සැප්තැම්බරයේදී ද මොහු අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වූ මුත් පසුව තායි පොලිසිය පැවසුවේ එවැන්නක් සිදු නොවූ බවයි.


කේ.පී. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට මැලේසියානු හා තායිලන්ත ආරක්ෂක අංශ ඍජුවම සම්බන්ධ වී තිබේ. සී.අයි.ඒ. හා එෆ්.බී.අයි. වැනි ආරක්ෂක බුද්ධි අංශ මෙහිදී කටයුතු කළ ආකාරය පිළිබඳ තවමත් වාර්තා වී නැත. කොටි සංවිධානයේ නිර්මාතෘ වේලුපිල්ලෛ ප්‍රභාකරන් මරණයට පත් වූ අලුත ඇතැම් වාර්තා පැවසුවේ කේ.පී. ඒ වන විටත් සී.අයි.ඒ. හා එෆ්.බී.අයි.බුද්ධි අංශ සමග අවබෝධයකින් කටයුතු කරන බව හා ප්‍රභාකරන්ගේ මරණය පිළි ගනිමින් කේ.පී. නිවේදනයක් නිකුත් කළේ එහි බලපෑමෙන් බවයි.


ලංකාවේ ආරක්ෂක අංශ සමග සමීපස්ථව කටයුතු කරන චීන හා රුසියානු බුද්ධි අංශ ද මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස සිටිය හැකි බව විශ්ලේෂකයෝ පවසති.


එසේම, ප්‍රකට යුද දේශපාලනික විශ්ලේෂකයකු වන ඩී.බී.එස්. ජෙයරාජ් පවසන්නේ කේ.පී.කොටි සංවිධානයේ නායකත්වයට පත් වීම හා අවි නිහඬ කර, ඉල්ලීම් දිනාගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට ප්‍රවිෂ්ඨ වීමට ඔහු ගත් තීරණය හේතුවෙන් ඔහු සමග අමනාප වී සිටින සංවිධානයේම පිරිස් විසින් කේ.පී. පාවා දෙන්නට ඇති බවයි. කෙසේ වෙතත්, පසුගිය සමයේ මෙම පාර්ශ්ව අතර යම් සම්මුතියක් ඇති වී තිබූ බව හා එහි ප්‍රතිඵලයක් ලෙස කේ.පී. සංවිධානයේ ප්‍රධාන ලේකම් තනතුරට පත් කරන ලද බව ද ජෙයරාජ් පවසයි. ටැමිල්නෙට් වාර්තා කරන පරිදි මෑතදී එල්.ටී.ටී.ඊ. කමිටුවක් විසින් ඔහු සභාපති ලෙස පත් කර ඇත.



කේ.පී. සමග සමීපව කටයුතු කළ දේශීය නියෝජිතයකු ද සරණාගත කඳවුරක සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බව පසුගිය සමයේ මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. එසේම එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය හා සම්බන්ධ ලිපිගොනු හා කේ.පී.ට ඇමතුම් දුන් ප්‍රභාකරන්ගේ චන්ද්‍රිකා දුරකථනය ඇතුළු තවත් උපකරණ ද බුද්ධි අංශවලට ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා උපකාර වී තිබේ.


කේ.පී. හමු වීමට ගොස් සිටි අය නම් කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායක බාලසිංහම් නඩේසන්ගේ සෙහොයුරා හා පුත්‍රයායි. ඔවුන් අත්අඩංගුවට පත් වූයේ ද නැද්ද යන්න පැහැදිලි නැත. කේ.පී. පාවා දීමේ ක්‍රියාවට ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වී ඇති බවට ද අනුමාන පවතී. කේ.පී.ට අවසන් දුරකථන ඇමතුම දුන් පුද්ගලයා දයාමෝහන් නමැත්තෙකි. දුරකථන ඇමතුම අතරතුරදී යම් පහරක් වදින ශබ්දයක් හා කලබලයක් ඇසුණු අතර ඉන් පසු දුරකථනය නිහඩ වූ බව ඔහු පවසයි. කලබලයට පත්ව සිද්ධිය වූ ස්ථානයට පැමිණි ක්වාලාලම්පූර්හි කේ.පී.ගේ හිතවතුන්ට ඔහු හෝ ඔහුගේ රියැදුරා සොයා ගත නොහැකි වූ අතර හමු වූයේ කේ.පී.ගේ දියණිය පමණි.‍


ලංකාව හා ඉන්දියාව විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කරන ලද වරෙන්තු දෙකක් තිබියදීත් කේ.පී. ආරක්ෂාව පිළිබඳ අඩු සැලකිල්ලකින් කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනේ. 


විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පසුගිය මැයි 29දා මැලේසියානු ආරක්ෂක ඇමතිවරයා සමග සාකච්ඡා කරමින් එරට ජීවත් වන කේ.පී. සිය රටට භාර දෙන්නැයි නිල වශයෙන් ඉල්ලා සිටියේය. 


ලංකාව මෑතදී මේජර් ‍ජනරාල් උදය පෙරේරා මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස පත් කළේය. ඔහුට පැවරී තිබුණු සැබෑ කර්තව්‍යය "කේ.පී. මෙහෙයුම" බව නිල නොවන ආරංචි මාර්ග පවසයි.



ලංකාවේ ආරක්ෂක අංශ මුලසිටම කටයුතු කළේ ඉහළ පෙළේ යුද සිරකරුවන් අත්අඩංගුවේ තබා නොගන්නා ප්‍රතිපත්තියකිනි. ඒ අනුව කේ.පී.ගේ ඉරණම කුමක් වේද යන්න නොපැහැදිලි මුත්, ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ ඔහු සම්බන්ධයෙන් ලංකාවේ නීතිය අනුව කටයුතු කරන බවයි. ලංකාව බෞද්ධ රාජ්‍යයක් වුවද එහි තවමත් මරණ දඬුවම පනවනු ලැබේ. එහෙත්, ජනාධිපතිවරයා විසින් එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස සිංහල බෞද්ධ නායකයන් රජයට දැඩි බලපෑමක් කරමින් සිටින අතර කේ.පී.ට එරෙහිව නඩු විභාගයකින් මරණ දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබුවහොත් මෙම ඉල්ලීම තීව්‍ර වනු ඇතැයි අනුමාන කළ හැකිය.



හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතන පරීක්ෂණ සඳහා කේ.පී. ඉන්දියාවට ද අවශ්‍ය ව තිබේ. ධර්මලිංගම් කුමාරන් ෂන්මුගම් යන නමින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කර තිබේ.


1955 අප්‍රේල් 06 දින උපන් කේ.පී. දැන් 54 වියේ පසුවෙයි.යාපනයේ මයිලිඩ්ඩි ගමෙන් පැවත එන හේ කොටි සංවිධානයට එක් වීමට පෙර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවකුව සිටියේය. ඔහු උපාධිය සම්පූර්ණ කළේ නැත. කොටි සංවිධානයේ ජාත්‍යන්තර ආදායම් හා මිළ දී ගැනීම් කටයුතු භාර ප්‍රධාන ජාලයට නායකත්වය දුන් කේ.පී. 2003දී ස්වේච්ඡාවෙන් සංවිධානයෙන් ඉවත්ව ගොස් තායි කාන්තාවක සමග විවාහ වු මුත් රජය කොටි සංවිධානය මර්දනය කිරීම සඳහා අවසන් මෙහෙයුම් දියත් කරමින් සිටි සමයේ ප්‍රභාකරන් විසින් පසුගිය ජනවාරියේදී ඔහු නැවත වතාවක් සංවිධානයේ පූර්ණ බල සහිත තානාපති ලෙස පත් කරන ලදී. එවර ඔහු පෙනී සිටියේ සෙල්වරාසා පත්මනාදන් යන නමිනි.


Comments

  1. එල්ලා මරන් නැතිව අල්ලා ඉබින්නද හදන්නේ

    ReplyDelete
  2. All the post mo-tums on LTTE says same stories of the battle of human races,don't expect different story from Sri Lanka.No Elam at India,Sri Lanka,Malaysia,Thai land,Canada,Indonesia,Singapore or any other country but better place is Tamilnadu.Tamil diaspora will find three places within few decades from the world,It moves from Sri Lanka to Canada first,But not treated like Quebec.Sorry.
    Buthpitiya.S.D

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා