අධිවේගයේ කොක්කුන්ගේ පාලම් සෙල්ලම් මහජනයාගේ හිස මතට කඩා වැටේ

(2009 ජුලි 17) දකුණු අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කරුවන් පාලම් සාදා ඇත්තේ නිසි ප්‍රමිතියෙන් තොරව දුර්වල අන්දමින් බව වාර්තා වේ. ඉදි කර තිබෙන පාලම් 73කින් 40%ක් හෙවත් පාලම් 30ක් කඩා දමා නැවත සෑදීමට සිදු වන බව කියන්නේ මෙම ව්‍යාපෘතියේ ජ්‍යේෂ්ඨ කාර්ය භාර නිලධාරි එස්. මහේන්ද්‍රන් ය. 


ඔහු මේ බව පැවසුවේ මෙම අපරාධයට වගකිව යුතු ඔහුත්, මහාමාර්ග ඇමති ටී.බී. ඒකනායකත්, තවත් රජයේ නිලධාරීන් රැසකුත් සහභාගි වී සිටි ප්‍රගති සමාලෝචන රැස්වීමකදීයි. 

ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල, නරාවල, කෙහොඹලාදෙනිය ප්‍රදේශයේදී ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලමක් හදිසියේ කඩාවැටීමෙන් පුද්ගලයකු මරුමුවට වැටීමත් සමඟ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම්වල ප්‍රමිතිය පිළිබඳ බරපතල සැක සංකා මතු වී තිබේ.  

මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් හා ඇතැම් දේශපාලකයන් අතර හරස් ගනුදෙනු සිදු වූ බවද, ගොඩනැගිලි ද්‍රව්‍ය සොරකම් කෙරුණේ කන්ටේනර් ගණනින් බව ද  ව්‍යාපෘතියේ සේවයේ නියුතු කම්කරුවෝ පවසති.


මෙම මාර්ග සැලසුම හා ඉදි කිරීම් මුල සිටම අක්‍රමවත් විය. මුලදී මෙය සැලසුම් කෙරුණේ මංතීරු දෙකේ මාර්ගයක් ලෙසයි. වේගය පැයට කිලෝමීටර් 120ක් වන මෙම මාර්ගයේ මංතීරු දෙකක් තිබීම යෝග්‍ය නොවන නිසා දැන් දෙඩංගොඩ සිට කොට්ටාව දක්වා මංතීරු හතරක් ඉදි කිරීමට පටන් ගෙන ඇත. මීළඟ අදියරේදී අමතර පිරිවැයක් දරමින් දොඩංගොඩ සිට මාතර ගොඩගම දක්වා මංතීරු හතරක් දක්වා මාර්ගය පුළුල් කිරීමට දැන් සැලසුම් කරමින් සිටියි. 


මෙම මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග පද්ධතියක් රටේ ඉදිකිරීමට සැලසුම් කෙරුණේ එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එන ලද නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ සමගයි. ග්‍රාමීය ප්‍රදේශවල විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ විය. එහෙත් වත්මන් රජය එම ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව වර්තමාන ආර්ථික අවපාතය මැද ලංකාවට විදේශ ආයෝජන ගලා ඒමත් අවම වී ඇත.

මෙම මාර්ගය ඉදිකිරීම නිසා දහස් සංඛ්‍යාත පවුල් ගණනකට තම පාරම්පරික වාසභූමි අහිමි විය. එයින් සිදු වී තිබෙන පරිසර විපර්යාසය හා හානිය ද අතිමහත්ය.

කිලෝමීටර් 126ක් දිග මෙම අධිවේගී මාර්ගය සඳහා වියදම රුපියල් කෝටි 3000කට අධිකය. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා