සියයට අසූවකට වඩා දෙමාපියන් ළමයින් පාසලට දමන්නේ විදුහල්පතිට අල්ලස් දීලා - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයක්

(2009 ජුලි 15) ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ මෙහෙයවීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන අමරසිරි ද සිල්වා මගින් සිදු කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල අනුව, ශ‍්‍රී ලංකාවේ මාපියන්ගෙන් 81 % ක් ම තම දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා විදුහල්පතිවරුන්ට අල්ලස් දෙන බව ද වාර්තා වේ.


එහෙත්, ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. සිසුන් ඇතුළත් කිරීම සඳහා දැඩි ඉල්ලුමක්‌ පවතින ජාතික පාසල් ඇත්තේ 50 ක්‌ පමණ සංඛ්‍යාවක් බවද ඉන් සිසුන් ඇතුළත් කිරීමේදී ගැටලු සහගත තත්ත්වයන් ඇත්තේ පාසල් 40 ක පමණක් බවද, රටේ පාසල්වලින් බහුතරයක්‌ පාලනය වන්නේ පළාත් සභා මගින් වන අතර සිසුන් ඇතුළත් කිරීමේදී විශාල ඉල්ලුමක්‌ ඇති පළාත් පාසල් ඇත්තේ සීමාසහිත ප්‍රමාණයක් බවද, ඒ අනුව බලන කල මෙම සමීක්‍ෂණයේ ප්‍රතිඵල ලෙස ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන ගැටලු සහගත බවද සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

එහෙත්, මේ පිළිබඳ අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පවසන්නේ කුඩා පාසල්වල පවා විදුහල්පතිවරු විවිධ ස්වරූපවලින් මාපියන්ගෙන් මුදල් එකතු කරන බවයි. මෙය අධ්‍යාපන බලධාරීන්ගේ පාලනය පිළිබඳ ගැටළුවක් බව ද හේ පවසයි.  

ශ්‍රේණිධාරී විදුහල්පති සංගමයේ ලේකම් එස්. යූ. කාරියවසම් පවසන්නේ අල්ලස් ගැනීම් සිදු වන බව සත්‍යයක්මුත් 81% ලෙස දක්වා ඇති ප්‍රතිශතය පිළිගත නොහැකි බවයි. බොරැල්ල කන්නංගර විදුහල නිදසුනක් ලෙස දක්වමින් ඔහු පවසන්නේ එහි විදුලි බිල රු. 25,000ක් පමණ වෙද්දී අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ සඳහා වෙන් කරන්නේ රු. 2000ක් පමණක් බවයි. පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල්, පහසුකම් හා සේවා ගාස්තු ආදියට අමතරව විදුහල්පතිවරුන්ට මුදල් එකතු කිරීමට සිදු වන්නේ වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිදු නොවීම නිසා බව ද මෙම සෑම මුදල් එකතු කිරිමක්ම අල්ලස් ලෙස හැඳින්වීම යුක්තිසහගත නොවන බව ද ඔහු පෙන්වා දෙයි. 


ලංකාවේ පාසල් දස දහසක් අතරින් 9200කට පමණ පළමුවන ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කරගැනීමේදී ප්‍රමාණවත් තරම් අයදුම්පත් නොලැබෙන බව අධ්‍යපන අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. තරගය ඇත්තේ පාසල් 800 කට පමණි. 

රජයේ පාසල්වලින් හරි අඩක පමණ ශිෂ්‍ය සංඛ්‍යාව එක පාසලක දෙසියයට අඩු ය. පාසල් 1554ක ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු ය. මෙම පාසල්වල සිදු වන්නේ ගුරු ශ්‍රමය වැනි සම්පත් අපතේ යාමකි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා