රජයේ පාසල්වලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වන්නේ ඇයි?

(2009 ජුලි 20) 1994 වසරේ 254,000ක් පමණ වූ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට අතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව 2008 වන විට 222,000ක් පමණ දක්වා පහත බැස ඇති බවද, ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පවසන්නේ කුඩා පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබීමට හේතුව රජයේ වැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති බවයි. නිදසුනක් ලෙස පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ගුරුවරුන් සේවයට යෙදවීම කුඩා පාසල්වල සිසුන්ගේ සම අධ්‍යාපන අයිතිය පැහැර ගන්නා බව පවසන ජෝසප් කියන්නේ ඒ වෙනුවට පාසලේ පංති සංඛ්‍යාව අනුව ගුරුවරුන් ප්‍රමාණය තීරණය කළ යුතු බවයි. 


2007දී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ ජාතික අධ්‍යාපන කොමිෂම විසින් නිර්දේශ කරන ලද ආකාරයට ජාතික පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පංති ඉවත් කළ යුතු අතර, කුඩා පාසල්වලට පහසුකම් හා ගුරුවරුන් ලබා දී ඒවායේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවිය යුතුය. 

එහෙත් ජාතික පාසල්වල ව්‍යූහයේ වෙනසක් සිදු කිරීම පහසු නැති බව විදුහල්පතිවරු පෙන්වා දෙති. එයට හේතුව මෙම පාසල්වල ප්‍රබල ආදි ශිෂ්‍ය සංගම් එයට එරෙහිව නැගී සිටීමයි. 



පවත්නා අධ්‍යාපන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හතු පිපෙන්නා සේ පෞද්ගලික පාසල් බිහි වෙමින් ඇති අතර, මේවා බොහොමයක අධ්‍යාපනයේ ප්‍රමිතියක් නැත. දේශීය ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යන මෙම ඊනියා ජාත්‍යන්තර පාසල්වල බහුතරයක් ගුරුවරු කිසිදු පුහුණුවක් නැති අය වෙති. සාමාන්‍යයෙන් මෙම පාසල්වල ඇති පහසුකම්වල තත්වයද කුඩා පාසල්වල තත්වයට වෙනස් වන්නේ නැත. රජයේ පාසල්වල මෙන් නිසි අධීක්ෂණයක හා නියාමනයක්ද මෙම පාසල්වල නැත.

මේ පිළිබඳ ලංකා ගුරු සංගමයේ අදහස වන්නේ අධ්‍යාපන අමාත්‍යංශය මෙම ප්‍රශ්නයට මැදිහත් වී මෙම ව්‍යාපාරවලට යුක්තියුක්ත තත්වයක් ලබා දීමට හදිසි නොවී කුඩා පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මක තත්වය ඉහළ නංවා සෑම දරුවකුටම රජයේ පාසල්වලින් හොඳ අධ්‍යාපනයක් ලබා ගත හැකි තත්වයක් නිර්මානය කළ යුතු බවයි. 



(ඡායාරූපයේ සිටින්නේ වවුනියාවේ අනාථ කදවුරක පාසල් වයසේ දරුවෝ ය.)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා