Posts

Showing posts from June, 2009

13ට පක්ෂව හා විපක්ෂව ආණ්ඩුව ඇතුළේ අලුත් යුද්ධයක්

Image
රජය 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කිරීමට හෝ එය ඉක්මවා යන බලය බෙදීමකට යාමට උත්සාහ කළහොත් ජාතික හෙළ උරුමය රජයෙන් ඉවත් වන බවට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් පක්ෂයේ ප්‍රධාන ක්‍රමෝපාය විශේෂඥවරයා වන පරිසර ඇමති චම්පික රණවක ඊයේ නිකුත් කළේය. මෙම වැදගත් අනතුරු ඇඟවීම විසින් පෙන්නුම් කරනු ලබන්නේ ජාතික හෙළ උරුමය රජයට සම්බන්ධ ඇමති තනතුරකින්, මන්ත්‍රී, පළාත් සභික ආදී තනතුරු කීපයකින් සෑහීමට පත් නොවී බල දේශපාලනය තුළ අභියෝවලට මුහුණ දෙමින් ඉදිරියට යාමට සූදානමින් සිටින බවයි. මෙය හෙළ උරුමයේ ප්‍රධාන තරගකරුවා වන ජවිපෙටද අභියෝගයක් වේ. පසුගිය කාල පරිච්ඡේදයේදී ජවිපෙ දේශපාලන ගමන් මාර්ගය සලකුණු වූයේ චම්පික රණවක විසින් තෝරන ලද උපාය මාර්ග ඔස්සේ බව ප්‍රකට කරුණකි. කොටි සංවිධානයේ පරාජයත් සමග රජය තුළ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ හා විරුද්ධ වශයෙන් කණ්ඩායම් දෙකක් ප්‍රබලව ඉස්මතු වී තිබේ. 1987දී ඉන්දීය බලපෑම මත ක්‍රියාත්මක කරන ලද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1988දී පළාත් සභා පිහිටුවන ලදී. එහෙත් ඉඩම්, පොලිස් බලතල වැනි පූර්ණ බලයක් තවමත් පළාත් සභාවලට ලබා දී නැත. පළාත් සභා ප

සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ප්‍රශ්නකාරී ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළඹ අභිමානය -2009

Image
ශ්‍රී ලංකාවේ සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ප්‍රශ්නකාරී ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය කොළඹ අභිමානය - 2009 දේදුනු සතිය නමින් සිය වාර්ෂික උළෙල මේ දිනවල පවත්වයි. ජුනි 28දා ගල්කිස්ස මුහුදු වෙරළේ සරුංගල් උළෙලකින් ආරම්භ වූ දේදුනු සතිය ජුලි 02දා දක්වා පැවැත්වේ. ජුනි 30දා සිට ජුලි 02දා බෙයාෆුට් කලාගාරයේදී දේදුනු දැක්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වේ. ඒ හා සමාන්තරව සෙලියුලොයිඩ් දේදුනු සිනමා දැක්මද දිනපතා සවස 7 සිට බෙයාෆුට්හිදීම පැවැත්වේ. ජුනි 30දා THE TIMES OF HARVEY MILK වාර්තා චිත්‍රපටයද, ජුලි 01දා සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික වාර්තා චිත්‍රපටද, ජුලි 02දා I CAN’T MARRY YOU වාර්තා චිත්‍රපටය හා තායිලන්තයේ නිෂ්පාදිත RIGHT BY ME චිත්‍රපටයද ප්‍රදර්ශනය වේ. ජුලි 04දා ඊක්වල් ග්‍රවුන්ඩ් කාර්යාලයේදී ලිංගිකත්වය පිළිබඳ වැඩමුළුවක්ද පැවැත්වේ. (2009 ජුනි 29)

යාපනයේ උදයන් පුවත්පතට අවසන් නිවේදනයක් එයි

Image
යාපනයේ පළ වන දෙමළ පුවත්පතක් වන උදයන් පුවත්පතේ වාර්තාකරුවන්, නියෝජිතයන් හා සේවකයන් ජුනි 30 වන විට ඉල්ලා අස් විය යුතු බවත්, එසේ නොකරන අයට මරණ දඬුවම හිමි වනු ඇති බවත් ජුනි 27දා සෙනසුරාදා එම පුවත්පතේ කාර්යාලයට හා සියලුම වෙළඳ නියෝජිතයන් වෙත ලැබී ඇති නිර්නාමික තර්ජනයකින් කියැවේ.  සමාජයේ සහජීවනය හා නිදහස දිනා ගත් පසු උදයන් පුවත්පතේ පුවත් තිරසාර සාමය විනාශ කිරීමට ඉලක්ක කරන බවත්, පොදු ජනයා ත්‍රස්තවාදීන් බවට පත් කරන බවත් එම ලිපිය පවසයි. එම ප්‍රවෘත්ති මගින් දෙමළ ජනයා අතර ජාතිවාදී හැඟීම් ප්‍රවර්ධනය කරන බව හා සාමය විනාශ කරන බවද පවසන නිවේදනය "ඔබේ පුවත් ඇත්ත සත්‍යය විකෘති කළ ඒවා" යි ද පවසයි.  1985දී ආරම්භ වූ උදයන් යනු යාපනයේ අඛණ්ඩවම පළ කෙරෙන ස්වාධීන දෙමළ පුවත්පතකි. එය දිගින් දිගටම මරණීය තර්ජනවලට ලක් විය.  අගෝස්තු 08දා පැවැත්වීමට නියමිත යාපනය මහ නගර සභාව සඳහා ඡන්ද ප්‍රචාරක කටයුතු දැන් ආරම්භ වී තිබේ.

ලංකාවේ පශ්චාත් යුදකාලීන රැඳවුම්කරුවන් 10,000ක්

Image
සතරූපා බට්ටාචාර්ය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන පරිදි මානව හිමිකම් නිරීක්ෂකයන්ගේ ගණනය කිරීම් වන්නේ ලංකාවේ විවිධ රැඳවුම් කඳවුරුවල පශ්චාත් යුද රැඳවුම්කරුවන් 10,000ක් පමණ රඳවාගෙන සිටින බවයි.  දේ මේ අතර, 270,000කට වඩා වන්නියෙන් අවතැන් වූ ජනයා රඳවා සිටින සරණාගත කඳවුරුවල සැකකරුවන් සෝදිසි කිරීමේ කටයුතුද තවමත් සිදු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ට සම්බන්ධ රිලීෆ් වෙබ් පවසන ආකාරයට 2009 මාර්තු සහ මැයි අතර කාලය තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලංකාවේ විවිධ ප්‍රදේශවල රැඳවුම් ස්ථාන 135කදී සිරකරුවන් 6700ක් හමු වී ඇත. මෙම සිරකුවන් දේශපාලන හෝ යුද සිරකුරුවන් ලෙස සැලකීමට අකැමැති ලංකාවේ රජය ඔවුන් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. ඔවුන්ගේ ඉරණම කුමක් වේද යන්න තවමත් තීරණය කර නොමැති අතර, 1989 කැරැල්ලේදී මේ හා සමාන තත්වයක් පැන නැඟුන විට රජය කළේ දීර්ඝ පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ඔස්සේ ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීමයි. බරපතල වැරදි සම්බන්ධ චෝදනා තිබූ අයට නඩු පවරන ලද අතර මුල් පෙළේ හා දෙවන පෙළේ නායකයන් මුලිනුපුටා දමන ලදී.

ඉරණමඩු වැවෙන්උතුරට ජල යෝජනා ක්‍රමයක්

Image
මෑතදී දෙමළ ඊලාම් විමුක්ති කොටි කැරැලිකරුවන්ගේ පාලනයෙන් සියතට ගත් වන්නියේ සුපසිද්ධ ඉරණමඩු වැවේ ජලයෙන් කිලිනොච්චියෙන් උතුරේ චාවාකච්චේරි, යාපනය වැනි ප්‍රදේශවලට ජලය සපයන ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.  ඩොලර් මිලියන 60ක් වැය වන මෙම ව්‍යාපෘතියේ ප්‍රාග්ධනයෙන් 80%ක් සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. ව්‍යාපෘතිය සඳහා ශඛ්‍යතා අධ්‍යයනය දැනටමත් හමාර කර ඇති බව වාර්තා වේ.  පරන්තන්හි ඉදි කරනු ලබන පවිත්‍රතා ඒකකය මගින් දිනකට ජල ගැලුම් මිලියන 11ක් මුදා හරිනු ඇත.

ඩෙංගු මදුරුවාට බැක්ටීරියා ප්‍රහාරයක්

Image
මදුරු උවදුර මර්දනය කිරීම සඳහා Bti (Bacillus thuringiensis israelensis) නම් බැක්ටීරියාව ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කර භාවිතා කිරීම‍ට කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මේ වන විට ඩෙංගු උවදුර භයානක අන්දමින් රට පුරා පැතිරෙමින් ඇති අතර රෝගීන් සිය ගණනක් මිය ගොස් තිබේ. මදුරුවන් බෝ වන තැන්වලට Bti බැක්ටීරියාව යෙදූ කල එහි බීජානු මගින් නිකුත් කරනු ලබන ප්‍රෝටීනයක් මදුරු කීටයාට අවශෝෂණය වී ඌ ආහාර නොගෙන දින කීපයකින් මිය යන බව goodbug.com වෙබ් අඩවිය පවසයි. හොඳ ප්‍රතිඵල සඳහා එය නිශ්චිත කාල වකවානුවකට වරක් දිගටම යෙදිය යුතුය. මෙම බැක්ටීරියාව මිනිසාට අහිතකර නොවන මුත් එය බොන වතුර සඳහා යෙදීමට නිර්දේශ කර නැත.